ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබේ.
විදෙස් මධ්‍ය වාර්තා කළේ, අවම වශයෙන් පුද්ගලයන් 141 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත් වී ඇති බව ය.
මියගිය අයගෙන් වැඩි දෙනෙකු කාන්තාවන්, ළමයින් හෝ වැඩිහිටියන් බව ප්‍රාදේශීය නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
ගුජරාට් ප්‍රාන්තයේ මෝර්බි නගරයේ ඇති පාලමක් එලෙස කඩා වැටී ඇති අතර එය අලුත්වැඩියා කර නැවත විවෘත කිරීමෙන් පසු කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මච්චු ගඟේ ඉහළින් ඇති, මීටර් 230ක් දිගැති එම පාලම 19 වන සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකරන ලද්දකි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ය.
පොලිසිය, හමුදා සහ ආපදා ප්‍රතිචාර කණ්ඩායම් යොදවා ඇති අතර මුදාගැනීමේ මෙහෙයුම් ඊයේ (ඔක්. 30) රාත්‍රිය පුරා ම ක්‍රියාත්මක වී ඇත.
ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මේ වන විට පුද්ගලයින් 177කට වැඩි පිරිසක් බේරා ගෙන ඇති බව බලධාරීන් සඳහන් කර ඇත.
මේ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජයට සහ ජනතාව වෙත සිය ශෝකය පළ කර තිබේ.
ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, එම සිදුවීමෙන් තුවාල ලැබූවන් වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ය.