කොළඹ එල්ෆින්ස්ටන් රඟහල අසලින් අද (නොවැ. 2) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (නොවැ. 1) ගිවිසුමකට එළඹිණි.
ඒ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවට සහය පළ කරමින් සිවිල් සංවිධාන කිහිපයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබූහ.
කෙසේ වෙතත්, අදාළ විරෝධතාව සම්බන්ධයෙන් ගාලු මුවදොර අරගලයට සම්බන්ධව සිටි බ්ලැක් කැප් මූව්මන්ට් සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට සහභාගි නොවන බව ප්‍රකාශ තිබේ.
ලංකා වාණිජ මණ්ඩලය, තරුණ ලංකා ව්‍යවසායකයින්ගේ මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය සහ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ඇතුළු වාණිජ මණ්ඩල 6ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා නතර කරන ලෙස ය.
භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පිළිගන්නා අතරම, මෙවැනි විරෝධතා හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට ගන්නා උත්සාහයන් අඩපණ වන බවයි ඔවුන් සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත.
අද දින මර්දනයට එරෙහි පා ගමනට සහභාගි වන බව නිල වශයෙන් දැනුම් දී ඇති, ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූ දේශපාලන පක්ෂ වන්නේ, සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, 43 සේනාංකය, එක්සත් සමාජවාදී පක්ෂය, දෙමළ ප්‍රගතීශිලි සංධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, අනුර ප්‍රියදර්ශන චන්දිම වීරක්කොඩි ඇතුළු කණ්ඩායම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, අගිල ඉලන්ගෙයි මුස්ලිම් කොංග්‍රසය, සමාජවාදී පක්ෂය යි.
ඊට සහභාගි වන සංවිධාන වන්නේ, ලංකා ගුරු සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ලංකා බැංකු සේවක සංගමය, තරුණ නීතිඥ සංගමය, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, එක්සත් කම්කරු සම්මේලනය, සමගි කාන්තා බලවේගය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ගෝල්ෆේස් අරගලකරුවෝ, ලංකා වතු සේවා සංගමය, තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, යුතුකම ලංකා, ෆැක්සිස් සාමුහිකය, ජනතා වෘත්තික මධ්‍යස්ථානය, ෆ්‍රොටෙක්ට් සංවිධානය, ප්‍රගති ගුරු සංගමය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය, සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරින්ගේ 25 වෘත්තීය සමිති සම්මේලනය, ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය, මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය යි.
එම පක්ෂ සහ සංවිධානවලට අමතරව තවත් සංවිධාන සහ වෘත්තිය සමිති 150කට ආසන්න සංඛ්‍යාවක් අද දින මෙම විරෝධතාව සඳහා සහභාගි වන බවට වාර්තා වේ.