බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි ‘පෙම්වතා’

September 12, 2022 - 7:10 PM

බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි ‘පෙම්වතා" | දේශීය පුවත්

පිළියන්දල බස් නැවතුම්පොළෙහි නවතා තිබූ පෞද්ගලික බස් රථයක් සොරා ගෙන සිය පෙම්වතිය බැලීමට යමින් සිටි 15 හැවිරිදි බාල වයස්කාර දරුවෙකු අද (සැප්. 12) අලුයම පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මත්තේගොඩ, කිතුලහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු මොරගහහේන ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතිය බැලීම සඳහා බස් රථයකින් යාමට ඊයේ (සැප්. 11) රාත්‍රී 8.00ට පමණ පිළියන්දල බස් නැවතුම්පළට පැමිණ ඇත.

එම අවස්ථාවේදී මොරගහහේන දක්වා යාමට බස් රථයක් නොතිබුණ ද පිළියන්දල බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක් එම ස්ථානයේ නවතා තිබූ අතර එහි රියැදුරන් ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පැවති  ආසියානු කුසලාන අවසන් මහා තරගය නරඹමින් සිට තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, එම තරගයේ එක් ඉනිමක් ක්‍රීඩා කොට ලැබෙන විරාමයේදී රියැදුරන් සිව්දෙනෙකු ආහාර ගැනීම සඳහා යාබදව ඇති ආපන ශාලාවට ගිය අවස්ථාවේදී සැකකරු එහි නවතා තිබූ බස් රථවලට ගොඩ වී ඇති බව ය.

එම අවස්ථාවේදී යතුර සමග නවතා තිබූ පිළියන්දල – කළුබෝවිල මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් මෙසේ පණ ගන්වා ධාවනය කර ඇති අතර පසුව රියැදුරන් පැමිණ බැලීමේදී නවතා තිබූ එක් බස් රථයක් අස්ථානගත වීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව, ක්‍රියාත්මක වූ නිලධාරී කණ්ඩායමක් ක්ෂණික මාර්ග බාධක යොදවා ධාවනය වන වාහන පරික්ෂා කිරීමේදී අස්ථානගත වූ බස් රථය බවට සැක කරන බස් රථයක් කැස්බෑව, ජාලියගොඩ මාර්ගය හරහා ධාවනය වෙමින් තිබියදී නවතා පරික්ෂා කිරීමේදී එය අස්ථානගත වූ බස් රථය බවට තොරතුරු අනාවරණය වී තිබේ.

බස් රථය පොලිස් භාරයට ගෙන බස් රථය ධාවනය කළ බාල වයස්කාර රියැදුරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පොලිසියෙන් මිදී පළා යාමට තැත් කර ඇති අතර පසුව ඔහු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

අත්අඩංගුවට ගත් බාල වයස්කාර රියැදුරු මීට මාස තුනකට පෙර හෝමාගම ප්‍රදේශයෙන් බස් රථයක් සොරා ගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ අයෙකු බව ත් පෙම්වතියගේ නිවසට යාමට බස් රථයක් නොතිබූ හෙයින් මෙම බස් රථය සොරාගෙන ගිය බවට තොරතුරු අනාවරණය වූ බව ත් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment