පාස්පෝට් කන්තෝරුවෙන් වාර්තාවක්...

September 14, 2022 - 2:18 PM

පාස්පෝට් කන්තෝරුවෙන් වාර්තාවක්... | දේශීය පුවත්

මේ වසරේ මුල් මාස 08 තුළ විදේශ ගමන් බලපත්‍ර 700,000කට අධික ප්‍රමාණයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

මීට පෙර වසරක දී වැඩි ම ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ 2016 වසරේ දී යි.

එම මුළු වසර පුරා ම නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යව 658,725ක්.

ආගමන විගමන දෙපාර්තමේන්තු ඉතිහාසයට අනුව, 2022 අගෝස්තු අවසානය දක්වා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පසුගිය වසරේ එම කාලය තුළ නිකුත් කල විදේශ ගමන් බලපත්‍ර 171,168 හා සැසඳීමේ දී 705,412 දක්වා 312% ක අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අගෝස්තු මාසයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රතිඵලය ද පෙර වසරේ එම කාලය තුළ නිකුත් කරන ලද විදේශ ගමන් බලපත්‍ර 28,976ට සාපේක්ෂව 297%ක සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කරනවා.

මීට අමතර ව අගෝස්තු මාසයේ දී එක්දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් 116,244ක් ලැබී ඇති අතර, එම මාසය තුළ ගමන් බලපත්‍ර 115,152ක් නිකුත් කර ඇති බව දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අනුව, 2022 වසරේ මුල් මාස අට තුළ මාසිකව දල වශයෙන් විදේශ ගමන් බලපත්‍ර 88,170කට අධික ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ද දෙපාර්තමේන්තුවට දිනකට අයදුම්පත් 4,000කට අධික ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව යි එහි ආරංචි මාර්ග පවසන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2022 අගෝස්තු අවසානය දක්වා වන දත්ත පැහැදිලිව පෙන්නුම් කරන්නේ, පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ විදෙස් රටවලට සංක්‍රමණය වීමේ උත්සාහයන් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment