සීදූවේ විහාරාධිපති හිමි නමක් අපවත්ව සිටියදී හමු වෙයි: ඝාතනයක් බවට සැකයක්

September 14, 2022 - 8:41 PM

සීදූවේ විහාරාධිපති හිමි නමක් අපවත්ව සිටියදී හමු වෙයි: ඝාතනයක් බවට සැකයක් | දේශීය පුවත්

සීදූව, වෑත්තෑව, නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්, උන්වහන්සේ වැඩ සිටි කුටිය තුළ ම අපවත් වී සිටියදී අද (සැප්. 14) පස්වරුවේ සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළේ, උන්වහන්සේගේ අපවත් වීම ඝාතනයක් බවට සැක කරන බව ය.

එලෙස අපවත් වී ඇත්තේ, 50 හැවිරිදි වියේ පසු වූ නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති නැඩගමුවේ මහානාම හිමි බව ඔහු පැවසීය.

අදාළ විහාරස්ථානයේ උන්වහන්සේ සහ තව ත් වයස අවුරුදු 18ක හිමි නමක් වාසය කර ඇතැයි මේ දක්වා සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අද දිනයේ පන්සල වසා තබා ඇති අතර පන්සල දෙසින් දුර්ඝන්ධයක් පැමිණෙන බවට ප්‍රදේශවාසීන් කළ පැමිණිල්ලකට අනුව සීදූව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එහිදී විහාරාධිපති හිමි වැඩ සිටින කුටිය අගුළු දමා ඇති බවට ත් ඒ තුළින් දැඩි දුර්ඝන්ධයක් නිකුත් වෙන බවට ත් පොලිස් නිලධාරීන් හඳුනා ගෙන ඇති බව ය.

ඒ අනුව, කුටියේ දොරගුළු කඩා ඒ තුළට ගොස් පරීක්ෂා කිරීමේදී විහාරාධිපති හිමි ඇඳ මත අපවත් වී සිටියදී හමු වී තිබේ.

උන්වහන්සේගේ මුහුණ නොපෙනන සේ රෙදිවලින් ඔතා, සිරුර සිවුරුවලින් ආවරණය කර තිබී ඇතැයි එහිදී නිරීක්ෂණය වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, දේහය ඉදිමී ඇති බවට නිරීක්ෂණය වී ඇති හෙයින් එම මරණය දින කිහිපයකට ඉහතදී සිදුවී ඇතැයි සැක කරන බව ය.

විහාරාධිපති හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් යැයි සැක කරන බව ඔහු පැවසීය.

විහාරස්ථානයේ වැඩ වාසය කළ අනෙක් හිමි නම ඊයේ දිනයේ ත් එහි වාසය කර තිබුණ ද, මේ වන විට උන්වහන්සේ විහාරස්ථානයේ නොමැති බවට හඳුනා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසීය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය මීගමුව රෝහල වෙතත් යොමු කෙරෙන අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය මීගමුව මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment