ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය බැබළවූ යුද්ධ හමුදාවේ මහීෂ් තීක්ෂණ ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම්

September 21, 2022 - 9:04 AM

ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය බැබළවූ යුද්ධ හමුදාවේ මහීෂ් තීක්ෂණ ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් වීම් | දේශීය පුවත්

යුද්ධ හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඊයේ (සැප්. 20) දින පෙරවරුවේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍යමය දිරි දීමනා සහ සුබ පැතුම් පිරිනමා තිබේ.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් රටටත්, යුද්ධ හමුදාවටත් කීර්තියක් අත්කර දුන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසුමට ලක් කරනු ලැබීමෙන් අනතුරුව ඔවුන් එකිනෙකා සමග සුහදව අදහස් හුවමාරු ගෙන ඇත.

ආසියානු කුසලාන ශූරතාව - 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වන යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩක සැරයන් එම්.එම්. තීක්‍ෂණ, ආසියානු දැල්පන්දු ශූරතාව - 2022 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ කෝප්‍රල් ටී.ටී. අල්ගම, කෝප්‍රල් කේ.බී.වයි. ද සිල්වා හා කෝප්‍රල් එම්.ඒ.අයි.ජේ. පෙරේරා සහ ආසියානු කායවර්ධන ශූරතාවලිය - 2022 හි ලෝකඩ පදක්කම දිනාගත් කායවර්ධන ක්‍රීඩක කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ එහිදී ඇගයීමට ලක් වී තිබේ.

එම අවස්ථාවේදී, යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණයන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ගේ ක්‍රීඩා කුසලතාවයන් තවදුරට ත් වැඩිදියුණු කිරීමේ අරමුණින් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස්වීම් ලබා දෙන ලෙස යුද්ධ හමුදාපතිවරයා විසින් අදාළ නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබ ඇත.

ඒ අනුව, සාමාන්‍ය සෙබළ එම්.එම්. තීක්‍ෂණ සැරයන් නිලයටත්, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් උසස් කර තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment