දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකින් ඩුබායි ගෘහ සේවය සඳහා ගිය කාන්තාවක් ඩුබායිහි රැඳවුම් කඳවුරක මාස තුනක කාලයක් ගතකොට මෙරටට පැමිණ එහි කාන්තාවන් විඳින විවිධ දුක්කරදර බාධක පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළා ය.
දඹුල්ල, දඹුලුඔය ප්‍රදේශයේ පදිංචි ලලිතා මෙම අමිහිරි අත්දැකීම් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, දඹුල්ල පොලිසියට මෙන් ම තමන් විදේශගත කළ රැකියා නියෝජිත ආයතනයට පවා දැනුම් දුන්න ද මෙතෙක් ඊට කිසිදු සාධාරණයක් සිදුවී නැති බව පවසන්නී ය.
එමෙන් ම, ඩුබායිහි තමන් රඳවා සිටි ස්ථානයේ තවත් ලාංකික කතුන් අසූපස් දෙනෙකු කාමරයක දමා සිර කරගෙන සිටින බව ද ඈ වැඩිදුරටත් සඳහන් කළා ය.
දඹුල්ල ප්‍රදේශයේ ඩුබායිහි රැකියා ලබා දෙන පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මගින් ඩුබායි යැවූ කාන්තාවකගේ සහෝදරියක වන දුලීකා ප්‍රියන්ති මහත්මිය ද මේ වන විට තම සහෝදරිය එරට අතරමංව සිටින සිද්ධිය පිළිබඳව ද හෙළිදරව් කළා ය.
මාස තුනක පමණ කාලයක් ඩුබායිහි කඳවුරක සිර කරගෙන සිටියදී තම දූ දරුවන් විශාල ම මුදලක් ණය වී මෙරටට පසුගිය දා තමාව ගෙන්වා ගත් බව ලලිතා පද්මිණී සඳහන් කර සිටියා ය.
ඇය කියා සිටියේ සංචාරක වීසා මත මෙම රැකියා ආයතනය මගින් විශාල කාන්තාවන් පිරිසක් ඩුබායි රටට දිනපතා යවන බව ය. යවන සියලු ම කාන්තාවන් එරට රැඳී සිටින රැකියා නියෝජිතවරියක සහ තවත් කිහිප දෙනෙකු විසින් භාර ගෙන ඔවුන් විශාල කාමරවල දමා දිනකට එක වේලක් හෝ ආහාරදී අනෙකුත් සියලු සනීපාරක්ෂක කටයුතු හෝ ආහාර නොමැතිව ඇඳුම් පැළඳුම් ද නොමැතිව දුක්විඳින බව ද ඈ කීවා ය.
ඇතැම් දිනවල මෙම කාන්තාවන් දින දෙකක්, හතරක්, පහක්, සතියක් වශයෙන් වෙනත් නිවෙස්වලට යොමු කොට එම මුදල විදේශ රැකියා ආයතන මගින් ලබා ගන්නා බව ද ඈ සඳහන් කළා ය.
තමන් රැඳී සිටි ස්ථානයට හිරු එළිය පවා නොවැටෙන බව ත් දොරගුළු ජනෙල් වසා දමා දවස පුරා සිර කර ගෙන සිටින බව ද ඈ අමිහිරි අත්දැකීම් රැසක් විස්තර කරමින් පැවසුවා ය.
එකිනෙකා යට ඇඳුම පවා මාරු කරගෙන අඳින බව ත් අඩු ම තරමේ දිය නෑමට සබන් කැටයක් හෝ නැති බව ත් එක වැසිකිළිය කාන්තාවන් 85 දෙනා ම භාවිත කරන බව ත් පැවසුවා ය.
මහල් කිහිපයකින් යුත් එම ස්ථානයේ අනෙකුත් මහල්වල පිරිමි පුද්ගලයන් සහ තව ත් කාන්තාවන් සිටින බවත් ඔවුන් කොපමණ සංඛ්‍යාවක් සිටින්නේ ද නොදන්නා බවද පද්මිණී මහත්මිය කීවා ය.
එමෙන්ම දුලීකා ප්‍රියන්ති නමැති කාන්තාව පැවැසුවේ, තම සහෝදරිය ඩුබායි රටට යවා මේ වන විට මාස තුනක කාලයක් ගතව ඇතත් මෙතෙක් රැකියාවක් ලබා නොදී ඇය සිර කරගෙන සිටින බව ය. නිවසට කතා කිරීමට හෝ අවස්ථාවක් නොලැබෙන බව ද ඇය සඳහන් කළ අතර තවත් පිරිසක් එහි රැඳීසිටින බව ද කීවා ය.
දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ හිමිකරුට දුරකතනය හරහා අප කතා කිරීමේදී ඔහු කියා සිටියේ තමන් විදේශ රැකියා සඳහා යැවූ අයට කෙසේ හෝ රැකියා ලබාදෙන බව ය. එමෙන් ම ඔවුන් රැකියා කිරීම සඳහා අකැමැත්තක් දැක්වීම නිසා රැඳී සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
මෙම බරපතළ කාන්තා හිංසනය මෙන් ම ශ්‍රමිකයන් සූක්ෂ්ම ලෙස අලෙවි කිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් ඩුබායි රැඳී සිටින තැරැව්කාර රැකියා නියෝජිතවරියගෙන් ද අප දුරකතනය හරහා කරුණු විමසීමේදී ඇය කියා සිටියේ ද කාන්තාවන්ගේ හැසිරීම් රටාව නිසා මෙවැනි තත්ත්වයන්වලට පත්ව තිබෙන බව ය.
වැඩිදුරටත් තොරතුරු විමසීමේදී ඇය තම දුරකතනය විසන්ධි කිරීම ද විශේෂත්වයකි.
දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති රැකියා නියෝජිත ආයතනයේ සේවිකාවකට නැවත ඇමැතුමක් ලබා ගනිද්දී ඇය නමක් සඳහන් කිරීමට හෝ නොහැකි බව ත් කෙසේ හෝ මෙම ප්‍රශ්නය පොලිසිය හා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය හරහා විසඳා ගන්නා ලෙස ත් කීවා ය.
- කේ.කේ. ආරියදාස - දඹුල්ල / මව්බිම