මහ කන්නයේදී කාබනික පොහොර සහනාධාරයට මොකද වෙන්නේ?

September 25, 2022 - 3:37 PM

මහ කන්නයේදී කාබනික පොහොර සහනාධාරයට මොකද වෙන්නේ? | දේශීය පුවත්

ඉදිරි මහ කන්නයේදී කාබනික පොහොර මිලදී ගැනීම සඳහා සහනාධාර මුදලක් ගොවියන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වගාවෙන් සියයට තිහක් කාබනික පොහොර යෙදිමට මෙවර නිර්දේශ වී ඇති බැවින් කෘෂිකර්ම අමාත්‍යංශය මෙම තීරණයට එළැඹි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පේරාදෙණිය ගන්නෝරුවේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
රසායනික පොහොර සියයට හැත්තෑවක් සහ ඉතිරිය කාබනික පොහොර වශයෙන් වගාවට යෙදීම මහ කන්නයේදී නිර්දේශ වී ඇතැයි කී ඒ මහතා ගොවින්ට සහනාධාර මුදලක් ලබා දෙන්නේ සිය වගාවට අවශ්‍ය කාබනික පොහොර මිලදී ගැනීම සඳහා යැයි සඳහන් කළේය.

රසායනික පොහොර ද සහන මිලට ලබාදීමට අපේක්ෂා කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා, මෙවර වී මිලදී ගැනීම සඳහා අමතර මුදල් ප්‍රමාණයක් ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් ඉල්ලා සිටි බවත් එම මුදල් ලැබුණු වහාම යල කන්නයේ සෙසු වී ධාරිතාව මිලදී ගැනීමේ හැකියාව පවතින බව කීවේය.

විෂ සහල් නොව ලොව ඉහළම ගුණාත්මයෙන් යුතු සහල් නිෂ්පාදිත රටවල් ගණයට ශ්‍රී ලංකාව අන්තර්ගත යැයි ද අමාත්‍යවරයා කීවේය. පොහොර, කෘමි හා වල් නාශක මනා අධීක්ෂණයට ලක් වන බැවින් සහල් තුළ මිනිස් සිරුරට අහිතකර දෑ අඩංගු නොවන බව වගකීමෙන් යුතුව පවසන බව ද ඒ මහතා අවධාරණය කළේය.

මෙරටට සහල් ගෙන්වන රටවල් කිහිපයක මෙරට භාවිතා නොවන රසායනික ද්‍රව්‍ය භාවිතා වන නමුත් එම රටවලින් මේ වන විට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතවයක් පැන නොනගින බව ද අමාත්‍යවරයා කීවේය.
මෙරට සහල් සංචිත හා ඉදිරියේදී ලැබීමට අපේක්ෂිත සහල් ධාරිතාව දෙසැම්බර් මාසය වන තුරු ප්‍රමාණවත් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

WhatsApp
Telegram
Make a Comment
Make a Comment