කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාමසේවා වසමේ කජීමාවත්ත නිවාස සමූහයේ ඊයේ (සැප්. 27) රාත්‍රියේ ඇති වූ ගින්නෙන් අවතැන්වූවන්ට සහන සැලසීම සහ ඔවුන් වෙනුවෙන් වූ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (සැප්. 28) පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී අනාවරණය වූ පරිදි මෙම ගින්න හේතුවෙන් නිවාස 71ක පුද්ගලයින් 306 දෙනෙකු අවතැන්ව සිටී.
නිවාස 60ක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති අතර, තවත් නිවාස 11කට අර්ධ හානි සිදුව ඇත. අවතැන් වූ පුද්ගලයන් 306න් 200ක් වැඩිහිටියන් වන අතර ළමුන් සංඛ්‍යාව 106කි. මේ වන විට අවතැන් වූ පිරිස් මෝදර උයන ප්‍රජා ශාලාවේ සහ කැලණි නදී විහාරස්ථානයේ පහසුකම් සහිතව රඳවා තැබීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහ නගර සභාව, මාදම්පිටිය ග්‍රාම නිලධාරී බල ප්‍රදේශයභාර පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම හා සහයෝගය මත අවතැන් වූ පිරිස් සඳහා ආහාර පාන ඇතුළු මූලික පහසුකම් අඛණ්ඩව ලබා දීම සිදු කෙරේ.
තවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ යටතේ සෞඛ්‍ය පහසුකම් පවත්වාගෙන යනු ලැබේ. සර්වෝදය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සහාය ඇතිව එම පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සළාක පිරිනැමීමට කටයුතු කළ බව ද කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මෙම සාකච්ඡාවේදී සඳහන් කළේ ය.
2007 වර්ෂයේ සිට තොටළග, කජීමාවත්ත අතරමැදි කඳවුරක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පවත්වා ගෙන ගොස් ඇති අතර, 2014 අවසන් වන විට එහි සිටි සියලු දෙනාට නිවාස ලබා දී අවසන් කළ බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පෙන්වා දුන්නේ ය.
නමුත් 2015 වසරේ සිට විටින් විට අනවසර පදිංචිකරුවන් මෙම ඉඩම අත්පත් කරගෙන ඇති බව ද නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දුන්නේ ය.
පසුගිය වර්ෂ දෙක ඇතුළත අවස්ථා 3කදී මෙම නිවාස ගිනි ගැනීමට ලක් වූ බව ත්, ඊයේ (සැප්. 27) සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් වහා ම සිදු කළ යුතු බවට ත් මෙම සාකච්ඡාවේ දී තීරණය කෙරිණි.
ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවට, කොළඹ ප්‍රාදේශීය ලේකම්, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි, රජයේ රස පරීක්ෂක, බල ප්‍රදේශය භාර පොලිස් අධිකාරි, එම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා සහ මාදම්පිටිය ග්‍රාම නිලධාරිවරයා ඇතුළත් ය.
මෙම කමිටුව විසින් වැඩ කරන දින 7ක් ඇතුළත අදාළ සිදුවීම ඇතිවීමට හේතු වූ කරුණු හා ඉදිරියේදී මෙම ප්‍රදේශයේ සංවර්ධනයත්, පදිංචිකරුවන් සඳහා යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳවත් කඩිනම් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත හා අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දෙන ලදී.
අවතැන්ව සිටින සියලුම පාසල් දරුවන් ලබන සඳුදා (ඔක්. 3) සිට සුපුරුදු පරිදි පාසල් යැවීම සඳහා අවශ්‍ය පෙළ පොත්, අභ්‍යාස පොත්, නිල ඇඳුම් සහ පාවහන් ලබා දීමටත්, ගැබිණි මව්වරුන්, මව්වරුන් හා කාන්තාවන්ගේ සියලු සෞඛ්‍ය පහසුකම් සැලසීමට ත්, පිසූ ආහාර අඛණ්ඩව සැපයීම සහ තාවකාලික නවාතැන්පළවල අත්‍යාවශ්‍ය සියලු මූලික පහසුකම් සැලසීමටත් තීරණය කෙරිණි.