සනත් නිශාන්තට සිතාසි

September 29, 2022 - 11:34 AM

සනත් නිශාන්තට සිතාසි | දේශීය පුවත්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ඔක්තෝබර් මස 13 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්න ලෙස දන්වා අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත සිතාසි නිකුත් කර තිබේ.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝග නිකුත් කරනු ලැබ ඇත.

ඔක්තෝබර් මස 13 වන දා අධිකරණය හමුවේ පෙනී සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර සරත් නිශාන්තට නියෝග කර තිබේ.

ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව සිය තීන්දුව අද (සැප්. 29) දින ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝග නිකුත් කර ඇත.

මැයි මස 9 වනදා ගාලු මුවදොර ‘ගෝඨාගෝගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුකරයක් ගොනුකර ඇති බව ත් එහි සැකකරුවෙකු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නම් කර ඇති බව ත් පෙත්සම්කරුවන් කියා සඳහන් කර තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව ද පෙත්සම්වල සඳහන් වේ.

එසේ තිබියදී අගෝස්තු මස 23 වන දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වගඋත්තරකාර සනත් නිශාන්ත අරගලකරුවන්ට මහෙස්ත්‍රාත්වරුන් ඇප ලබා දීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කර ඇතැයි පෙත්සම්කාර පාර්ශවය චෝදනා කර ඇත.

එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර සනත් නිශාන්ත අධිකරණයේ ගෞරවය හෑල්ලුවට ලක් කර නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරුවන් අදාළ ප්‍රකාශය හරහා මහ ජනතාව අධිකරණය කෙරෙහි තබා තිබෙන විශ්වාසය බිඳ හෙළීමට ක්‍රියා කර ඇති බව ද සඳහන් කර තිබේ.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව පෙත්සම්කරුවන් වැඩිදුරටත් චෝදනා කර ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment