22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිලිබඳ විවාදයට දින නියමවේ..

September 29, 2022 - 3:40 PM

22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිලිබඳ විවාදයට දින නියමවේ.. | දේශීය පුවත්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 6 සහ 7 යන දෙදින පැවැත්වීමට පාර්ලිමේන්තු ක‍ටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසයි.

අද (සැප්. 29) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තුව ලබන 3 වන සඳුදා සිට 7 වන සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර 3 වන දා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වා සම්පූර්ණ දිනය විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සඳහ වෙන්ව කර තිබේ.

ඔක්තෝබර් 7 වන සිකුරාදා හැර 4 වන දා සිට 6 වන දා දක්වා සෑම දිනක ම පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ඔක්තෝබර් 4 වන දා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමය, 1989 අංක 13 නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ අංක 2290/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමය, 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2294/29 සහ 2294/30 ගැසට් පත්‍රවල සඳහන් නියමයන් විවාදයට ගැනීමට නියමිත ය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ (Ease of Doing Business Index) අගය ඉහළ නැංවීම වෙනුවෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබද සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබද යෝජනාව ද එදින විවාදයට ගැනීමට නියමිතව ඇත.

ඔක්තෝබර් 5 වන දා පෙ.ව 10.30 සිට ප.ව 12.30 දක්වා 1977 අංක 8 දරන උදර්පණ පනත යටතේ අංක 2282/19 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියමය විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇති බව මහ ලේකම්වරයා පැවසීය.

ඉන්පසු ප.ව 1.00 සිට ප.ව 5.00 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සිදු කරන සංශෝධන පිළිබඳ විවාදය දෙවන දිනට ත් පැවත් වේ.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment