පුටින්ගේ නියෝගයෙන් රුසියාව තවත් ලොකු වෙයි

September 30, 2022 - 9:25 AM

පුටින්ගේ හිතුවක්කාර තීරණයෙන් රුසියාව ලොකු වෙයි | විදේශීය පුවත්

යුක්‍රේනයේ සපොරීෂියා සහ කර්සන් කලාප ස්වාධීන කලාප ලෙස රුසියාව සලකන බව සඳහන් කරමින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අද (සැප්. 30) නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ ලේඛනවලට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අත්සන් තබා ඇති බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ ය.

ඒ අනුව, එම ලේඛනවලට අත්සන් තැබූ දින සිට ජනාධිපතිවරයාගේ නියෝගය බලාත්මක වනු ඇත.

ලේඛනවලට අනුව, රුසියානු ජනාධිපතිවරයාගේ තීරණය පදනම් වී ඇත්තේ, ජාත්‍යන්තර නීතියේ විශ්වීය මූලධර්ම හා සම්මත, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මගින් තහවුරු කර ඇති ජනතාවගේ සමානාත්මතාව හා ස්වයං නිර්ණය පිළිබඳ මූලධර්මය පිළිගැනීම හා තහවුරු කිරීම, සහ ජනමත විචාරණයකදී ප්‍රකාශිත ජනතාවගේ කැමැත්ත මත බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කර තිබේ.

රුසියාවේ කොටසක් බවට පත්වීම පිළිබඳ ජනමත විචාරණ ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක්හි මෙන් ම සපොරීෂියා සහ කර්සන් කලාපවල සැප්. 23 වන දා සිට සැප්. 27 වන දා දක්වා පැවැත්විණි.

ඒ සඳහා නිකුත් කරන ලද ඡන්ද පත්‍රිකාවල “ඔබ කලාපය යුක්‍රේනයෙන් ඉවත් වීම, ස්වාධීන රාජ්‍යයක් නිර්මාණය කිරීම සහ රුසියානු සමූහාණ්ඩුවට බැඳීමට පක්ෂ ද?” යනුවෙන් සඳහන් කර තිබුණු බව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය පැවසීය.

ඒ අනුව, යුක්‍රේනයේ නව ප්‍රදේශ 4ක් රුසියාවට ඈඳා ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය අද මොස්කව් වේලාවෙන් පස්වරු 3:00ට පැවැත්වීමට නියමිත ය.

රුසියාව පෙබරවාරි මාසයේදී ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් කලාප ස්වාධීන කලාප ලෙස පිළිගත්තේ ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment