පොලිස් වෙඩි පහරින් සැකකරුවෙක් මරු දකී

September 30, 2022 - 12:47 PM

පොලිස් වෙඩි පහරින් සැකකරුවෙක් මරු දකී | දේශීය පුවත්

ගම්පහ ප්‍රදේශයේදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සැකකරු සහ තවත් සැකකාරියක සැප්. 20 වන දින සවස ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට පිහියෙන් ඇන එක් පුද්ගලයෙකු ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදු කර ඇති බව ය.

ඔවුන් කොටුගොඩ, මදුරුවිට ප්‍රදේශයේ වැඩ නිම නොකරන ලද ඉදි කරමින් පවතින නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට එහි ගොස් ඇත.

ඒ අනුව, පොලිස් නිලධාරීන් එම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මරණය පත් සැකකරු පොලිස් නිලධාරීන්ට පිහියකින් පහර දී තිබේ.

පොලිසිය සඳහන් කළේ, නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය කළ වෙඩි තැබීමකදී සැකකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ය.

එම ස්ථානයේ සිටි අනෙක් සැකකාරිය වන සැකකරුගේ බිරිඳ, කොල්ල කෑම සහ මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් වෙඩි පහරින් මියගිය සැකකරු වයස අවුරුදු 35ක් හා අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 26ක් වූ පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් දෙදෙනා ම මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහිවූවන් වන අතර මරණකරුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් හා සොරකම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment