බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබී එම නිවස හිමි ව්‍යාපාරිකයාගේ මළසිරුරක් අද (02) සොයාගැනුණි.
මෙලෙස මියගොස් තිබුණේ ප්‍රකට රෙදිපිළි අලෙවිසැල් ජාලයක හිමිකරුවෙකි.
ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි රොෂාන් වන්නිනායක නම් පුද්ගලයෙකි.
ඔහුගේ සිරුර මෙලෙස සොයා ගත්තේ ඔහුටම අයත් පැලවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක පිහිනුම් තටාකයේ තිබියදීය.
අදාළ ව්‍යාපාරිකයා පසුගිය 31 වනදා එම නිවසට යන බව සිය සහෝදරියට පවසා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
නමුත් ඔහු යළි නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමකදී ඔහුගේ සිරුර මෙලෙස හමුවී තිබුණි.
මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා,
"එම පුද්ගලයා 30 වනදා ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයකට ගොස් මෙම නිවසේ යතුර ලබාගෙන නිවසට පැමිණ තිබෙන බව ඔහුගේ සහෝදරිය වැල්ලම්පිටිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා. නමුත් මියගිය ස්ථානයේ.. මෙම නිවසේ අදාළ කාර් රථය තිබුණේ නැහැ. ඒ වගේම ඔහුගේ දුරකථනය සහ මුදල් පසුම්බිය තිබුණෙත් නැහැ."
කඩුවෙල වැඩබලන මහෙස්ත්‍රාත් කමල් විජේසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට අද පස්වරුවේ පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදුකර තිබුණි.
සිද්ධිය සම්බන්ධ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදුන් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේය.