දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කාන්තාවන් සහ පාසල් දැරියන් අතර සනීපාරක්ෂාව සහතික කිරීම සහ සනීපාරක්ෂක නිෂ්පාදන වඩා ත් දැරිය හැකි මිලකට ලබා ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව ය.
තව ද ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද තීරණය කර තිබේ.
ඒ අනුව, මෙම බදු සහන සමග දේශීයව නිෂ්පාදීත සනීපාරක්‍ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50ත් 60ත් අතර මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ත් 270ත් අතර වනු ඇත.
තවද ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට ද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
නිෂ්පාදකයින් මෙම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේදී අදාළ බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු අතර, ඒ සඳහා වන වැඩපිළිවෙළ ද මේ වන විට සකස් කර ඇත.
ඒ අනුව, රේගු ආනයනය මත 15%ක රේගු ආනයන බද්ද, 10% – 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (PAL) අමුද්‍රව්‍ය 5ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර තිබේ.
දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය අනුපාතයක් ලබා දී ඇත. නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමි වේ.
මෙම සියලු ප්‍රතිලාභ අර්බුද කාල සීමාවට බලපැවැත්වෙන පරිදි ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
සනීපාරක්ෂක තුවා සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයට අය කරන බදු හේතුවෙන් සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම නිසා එම බදු අඩු කරන ලෙස දේශීය නිෂ්පාදකයින් පසුගිය දා රජයෙන් ඉල්ලීමක් කර තිබිණි.