ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහය වීමට යුරෝපා සංගමය කැප වී සිටින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) සඳහන් කර තිබේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා ඇත.
ශ්‍රී ලංකා රජය ගෙනයන මෙම ක්‍රියාවලියේදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලු ම පාර්ශ්වකරුවන් අතර සංවාදයක් මෙන් ම නීතියේ ආධිපත්‍යයට සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍යව පවතින බව ද ඇය සඳහන් කර තිබේ.
GSP+ කැපවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය විසින් කරන ලද තක්සේරුව පිළිබඳව ද අවධානය යොමු කර ඇති උර්සුලා වොන් ඩර් ලේන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ GSP+ කැපවීම් පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින් යුරෝපා සංගමය විසින් තක්සේරු කරනු ලැබ ඇති බව ය.
එම වාර්තාව මේ වසරේ අග භාගයේදී හෝ 2023 මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත අතර එමගින් සියලු ම ශ්‍රී ලාංකිකයන්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වා දීමට සහ මෙහෙය වීමට අපේක්ෂා කෙරේ.
පෙර නොවූ විරූ ආර්ථික පසුබෑමේ විනාශකාරිත්වයෙන් සාර්ථකව ගොඩ ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගන්නා උත්සාහය සාර්ථක වේවායි ද ප්‍රාර්ථනය කරන උර්සුලා වොන් ඩර් ලේන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග කරන සාකච්ඡා හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව සිදු කෙරෙනු ඇතැයි ද විශ්වාසය පළ කර තිබේ.
හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව, දෙරටේ බැදීම් සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමට ද යුරෝපා කොමිසමේ සභාපතිනිය කැමැත්ක පළ කර ඇත.