අපේක්ෂිත ආදායම් නොමැතිව මත්පැන් නිෂ්පාදකයින් සොවින් තැවේ

October 03, 2022 - 4:07 PM

අපේක්ෂිත ආදායම් නොමැතිව මත්පැන් නිෂ්පාදකයින් සොවින් තැවේ | දේශීය පුවත්

සුරාබදු ආදායම මේ වසරේදී (2022) රුපියල් බිලියන 185 දක්වා ඉහළ දමන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාටිය ඉල්ලීම කළද හේතු ගණනාවක් නිසා එම අපේක්ෂිත ආදායම සපුරා ගත නොහැකිවනු ඇතැයි මත්පැන් නිෂ්පාදකයෝ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පෙන්වා දී තිබේ.

මත්පැන් අලෙවිය සීග්‍රයෙන් පහත බසිමින් තිබෙන හෙයින් මේ වසරේදී සුරාබදු ආදායම සැලකිය යුතු ලෙස පහළ බසිමින් තිබෙන බවද ඉකුත් දා (30) පැවති සාකච්ඡාවකදී මත්පැන් නිෂ්පාදකයින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට පවසා තිබේ.

මත්පැන් අලෙවිය පහත බැස ඇති හෙයින් රජය අපේක්ෂා කරන අදායම් ඉලක්කය ලබාගැනීමට කටයුතු කරන්නැයි එහිදී සුරාබදු කොමසාරිස්ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වසර තුළ දෙවතාවක් වැට්බදු ඉහළයාම, සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම, අධික ලෙස එතනෝල් සහ ඉන්ධන මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මත්පැන් මිල ඉහළ ගොස් ඇති අතර එම නිසා මත්පැන් අලෙවිය සීග්‍රයෙන් පහත යමින් තිබෙන බවද මත්පැන් නිෂ්පාදකයින් පෙන්වා දී ඇත.

නීත්‍යානූකූල මත්පැන් අලෙවිය අඩුවීමට සාපේක්ෂව නීතිවිරෝධී මත්පැන් අලෙවිය ඉහළ යමින් තිබෙන බවද ඔවුහු පෙන්වා දී තිබේ.

මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම නිසා මත්පැන් නිෂ්පාදකයින්ට උපරිම ආදායම් ඉලක්ක සපුරා ගත හැකිවනු ඇතැයිද එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයින්ට පෙන්වාදී ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment