දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට යයි... 

October 04, 2022 - 5:42 PM

දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට යයි... | දේශීය පුවත්

රටවටා පිහිටි දූපත් සමූහය සංවර්ධන කර රටේ ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමේ අරමුණින් මෙම නව අධිකාරිය ස්ථානය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය පිහිටුවීම සදහා වන කැබිනට් පත්‍රිකාව නුදුරෙදීම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පවසයි.

අප රට වටා දූපත් 60 කට අධික ප්‍රමාණයක් පිහිටා ඇත. මෙම දූපත් සමූහය සංවර්ධනය කර සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීමෙන් මෙරට ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගත හැකි බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

ලොව බොහෝ රටවල පිහිටි දූපත්වල ආර්ථික විභවතාවයන් ඇගයීමට ලක්වුවද ශ්‍රී ලංකාව වටා පිහිටි කුඩා දූපත්වල ආර්ථික විභවතාවයන් මෙතෙක් නිසි ඇගයීමට ලක්ව නැති බවද හෙතෙම සඳහන් කරයි.

මාලදිවයින වැනි දූපත් රටවල ක්‍රියාත්මක ජල බංගලා වැනි හෝටල් ඉදිකිරීමෙන් දෙස් විදෙස් සංචාරක ආකර්ශණය ඉහළ නැංවිය හැකිවනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

එබැවින් නිසි සැලසුමකට අනුව එම දූපත්වල භෞතික හා සමාජ යටිතල පහසුකම් සංවර්ධන කළ යුතු බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

නමුත් අප රටේ මෙතෙක් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව නැතැයිද අමාත්‍යවරයා පවසයි.

වර්තමානයේදී අප රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එබැවින් රට වටා පිහිටි දූපත් සංවර්ධන කර ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමෙන් එම අර්බුද වලට විසඳුම් සොයාගත හැකි බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment