ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටි නදුන් චින්නක හෙවත් "හරක් කටා" ඩුබායි පොලිසිය විසින් මුදාහැර තිබේ.
ඊට මුල් වී ඇත්තේ "හරක් කාටා" ට එරෙහිව ඇති අපරාධ ගොනුව ඩුබායි වෙත නියමිත කාලයට යොමු කිරීමට මෙරට බලධාරීන් අපොහොසත් වීමයි.
එම අපරාධ ගොනුව තවමත් ආරක්ෂක අමාත්‍යාංශයේ මේසයක් මත තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ගොනුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතින් ම ගොස් බාර දී ඇත්තේ පසුගිය 18 වෙනිදාය.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් එය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කළ යුතුව තිබුණත් එය සිදුවී නොතිබුණි.
කෙසේවෙතත් "හරක් කටා" මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ලිපිගොනු දින පහකට අධික කාලයක් තිස්සේ යැවීමට ප්‍රමාද කිරීම පසුපස සිටින රාජ්‍ය නිලධාරීන් ගැන සෙවීමට විශේෂ කමිටුවක් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (04) නියෝග කර ඇත.
මෙසේ අපරාධ ගොනුව යැවීම දිනෙන් දින ප්‍රමාදවීම හේතුකොටගෙන ඩුබායි බලධාරීන් විසින් "හරක් කටා" නිදහස් කර ඇත්තේ පසුගිය සඳුදා (10-03) දිනයේදීයි.
ඉකුත් අගෝස්තු 11 වැනිදා හරක් කටා ඩුබායි ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත්තේ රොෂාන් ඉසංක නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට යද්දීය.
ඉන්පසුව මොහු අත්අඩංගුවට ගත් බව ඩුබායි පොලිසිය අගෝස්තු 18 වැනිදා ජාත්‍යන්තර පොලිසිය මගින් මෙරටට දන්වා එවා තිබිණි.
සැප්තැම්බර් 18 වැනිදාට පෙර හරක් කටා මෙරටට එවීමට අවශ්‍ය ලිපිගොනු එරටට එවන ලෙස දන්වා තිබිණි.