විදේශ රැකියා අවස්ථා ලබාදෙන ග්ලෝකල් ෆෙයා 2022 ගාල්ලේදී - නිල වෙබ් අඩවියත් ජනගත කරයි

October 06, 2022 - 5:27 PM

විදේශ රැකියා අවස්ථා ලබාදෙන ග්ලෝකල් ෆෙයා 2022 ගාල්ලේදී - නිල වෙබ් අඩවියත් ජනගත කරයි | දේශීය පුවත්

රටේ ජනගහණයෙන් 50%කගේ ගැටලු සදහා ඍජුව ආමන්ත්‍රණය කිරීමේ සහ විසදුම් සදහා යොමුකරවීමේ සමාරම්භක වැඩපිළිවෙල ඔක්තෝබර් මස 15 සහ 16 දෙදින ‘ග්ලෝකල් ෆෙයා 2022‘ නමින් ගාල්ලෙන් අරඹෙන බවත්, එය මෙරට ශ්‍රම බලකායට බලපාන සියලු ගැටලු එක ම භූමියක, එක ම වහලක් යට සාකච්ඡා කිරීමේ පළමු වේදිකාව බවත් අමාත්‍ය මනුෂ නානායක්කාර පැවැසීය. ඒ ‘ග්ලෝකල් ෆෙයා 2022‘ වැඩසටහනේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ඔක්තෝබර් මස 15 හා 16 දෙදින ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ දී ඇරඹෙන ග්ලෝකල් ෆෙයා 2022 වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය අද (06) අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් අන්තර්ජාලයට එක් කරන ලදි. එහි දී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

රටේ මානව සම්පත පිළිබද මූලික වගකීම කම්කරු අමාත්‍යංශයට පැවරෙනවා. මෙරට මානව සම්පත කළමණාකරණය කිරීම, නිසි පරිදි යෙදවීම සම්බන්ධ මූලික වගකීම කම්කරු අමාත්‍යංශයට පැවරී තියෙනවා. කම්කරු අමාත්‍යංශයේ සියලු සේවාවන් එක ම භූමියක එක ම වහලක් යටින් ඉටුකිරීමේ අවස්ථාව ග්ලෝකල් ෆෙයා 2022යි. 

දෙස් හෝ විදෙස් රැකියාවක් ලබා ගැනීමේ දී කළ යුතු මූලික කාර්යයන්, පුහුණුව සහ සූදානම් වීම කළ යුත්තේ කෙසේද යන්නත්, දෙස් හා විදෙස් රැකියා සදහා යොමුකරවීමත් ලියාපදිංචියත් මෙහි දී සිදු වෙනවා. දැනට රැකියාවක නිරත ව සිටින අයගේ රැකියාව සම්බන්ධ ගැටලු, නෛතික කරුණු කාරණා, ඊටීඑෆ්, ඊපීඑෆ් සම්බන්ධ ගැටලු සහ කම්කරු නීති රීතී සහ ඒ හා සම්බන්ධ අනෙකුත් සියලු ක්ෂේත්‍ර පිළිබද දැනුවත් කෙරෙනවා. 

රටක ජීවනාලිය වෙන්නේ දරුවෝ. තරුණ පරම්පරාව. රටේ අනාගත සේවා සපයන්නේ දරුවන්. රැකියා ගතවීම සදහා අවශ්‍ය මූලික අවබෝධය ලැබුණොත් දේශීයවත් විදේශීයවත් රැකියාගත වීමට හා රටේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට හේතුවක්. අපේ රටේ ශ්‍රම බලකායට බලපාන සියලු ම ගැටලු එක ම භූමියක දී සාකච්ඡා කරන අවස්ථාව වන්නේ ග්ලෝකල් ෆෙයා 2022යි. විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා ගත ව සිටින හා රැකියා ගතවීමට අපේක්ෂා කරන සියලු දෙනාට අවශ්‍ය උපදෙස්, මගපෙන්වීම සහ රැකියා ගතවීම සදහා පහසුකම් සැපැයීම මෙහි ප්‍රධාන අරමුණක් වෙනවා. 

ජීවිතයට සරු මගක් සකස් කිරීමේ අවස්ථාව නිර්මාණය කිරීමත් මෙහි විශේෂ බලාපොරොත්තුවක්. රටේ ශ්‍රම බලකාය නිවැරදි දිශානතියට ගමන් කිරීම රටට සරු මගක් සකස් කිරීමක්. විදේශගත ශ්‍රමිකයා එවන මුදල මත රටේ අනාගතය තීරණය වෙනවා. ඉකුත් මාස හතර තුළ ඩොලර් මිලියන 247, 274, 305, 325 සහ අද සැප්තැම්බර් වන විට 350 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ මුදල රටේ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් කරනවා. මොකද රටේ මූලික අවශ්‍යතාවන් සැපිරීමේ ඩොලර් අවශ්‍යතාව පූර්ණ වෙන්නේ මේ ප්‍රේෂණ මගින්. 

රටේ ජනගහනයෙන් 50%කට ම ආමන්ත්‍රණය කරන වැඩපිළිවෙලක් තමයි ග්ලෝකල් ෆෙයා. ආරම්භක අදියර ගාල්ලෙන් පටන් ගන්නවා. මේක මූලික වැඩසටහන පමණයි. ක්‍රමයෙන් මෙය දියුණු කරමින් ඉදිරි අදියර ක්‍රියාත්මක කරනවා. 

දේශීය හා විදේශීය රැකියා සදහා ලියාපදිංචි කිරීම, විදේශ රැකියා තෝරා ගැනීම සහ යොමු කරවීම, විදේශ ගතවීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, කම්කරු, සේවක අර්ථසාධක හා භාරකාර අරමුදල් සම්බන්ධ ගැටලු, මහ බැංකුව, කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා, රැකියා හා වෘත්තීය පුහුණු සැසි, වෘත්තීය මග පෙන්වීමේ කාර්යයන්, වෘත්තීය හා අනෙකුත් ආයතන ක්‍රියාපටිපාටීන්, රැකියා සුරක්ෂිතතාව, සෞඛ්‍ය, රැකියාවක නිරතවීමේ දී දැන සිටිය යුතු මූලික නෛතික දැනුම ලබා දීම සහ රාත්‍රී සංගීත සංදර්ශන පැවැත්වෙනවා. 

මේ සදහා වන වෙබ් අඩවිය අද අන්තර් ජාලයට මුදා හරිනවා. ඒ හරහා දේශීය හා විදේශීය රැකියාගත වීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස ලියාපදිංචි වීම, දැනට රැකියා ගත ව සිටින අයගේ කම්කරු හා රැකියාව සම්බන්ධ ගැටලු ඇතුළු තමන්ට අදාළ වන ක්ෂේත්‍රයේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසලා තියෙනවා. ඒ වගේ ම ඇතුළුවීමේ දොරටුවේ දී පැමිණෙන සියලු දෙනා ලියාපදිංචි කරනවා. කලින් ලියාපදිංචි වෙලා එන අයට ඇතුළු වීමේ දී ලියාපදිංචි නොවී ඍජුව ම සේවාව අවශ්‍ය ස්ථානයට පිවිසීමේ පහසුව සැලසෙනවා. 

පැමිණීමට අපේක්ෂා කරන සියලු දෙනා මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී තමන්ගේ ගැටලුවට අදාළ ක්ෂේත්‍රය තෝරා ගෙන ම පැමිණිය හොත් සේවාව ලබා ගැනීමේ දී වගේ ම සැලසීමේ දීත් දෙපාර්ශ්වයට ම පහසුවක් වේවි. ලියාපදිංචි වීමෙන් අනතුරු ව ඔබේ ලියාපදිංචියට අදාළ කිව්ආර් කේතය ලැබෙනවා. එය රැගෙන පැමිණීම සියලු දෙනාට ම පහසුවක් වේවි. ඒ නිසා වෙබ් අඩවියේ ලියාපදිංචි වී පැමිණෙන ලෙසත් ඉල්ලා සිටිනවා.img-20221006-wa0029 img-20221006-wa0030 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment