හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුගෙන් අනාවරණය කර ගත් කරුණු මත හෙරොයින් කිලෝග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
කැස්බෑව පොලිස් වසමේ, සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදී එම හෙරොයින් තොගය සොයාගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (ඔක්. 6) රාත්‍රියේ අම්බලන්තොට පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 40ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ය.
එලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ, 19 හැවිරිදි වියේ පසුවන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලද තොරතුරකට අනුව තංගල්ල පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකරනු ලැබ තිබේ.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී කැස්බෑව සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස ගැන තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ අනුව වහා ම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම නිවස වටලා ඇත.
පොලිසිය සඳහන් කළේ, වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි සැකකරුවන් පළා ගොස් ඇති බව ය.
එම නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 176ක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් 19ක්, සීල් යන්ත්‍රයක්, හෙරොයින් පැකට් කිරීම සඳහා යොදාගනු ලබන උපකරණ හා ද්‍රව්‍ය, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, වෙනත් ලිපි ලේඛන සහ වාහනයක යතුරක් ද තංගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.
පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් මෙම ජාවාරම සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.
පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද (ඔක්. 7) අම්බලන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර තංගල්ල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, අම්බලන්තොට සහ කැස්බෑව පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.