එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධතා පැවැත් වූ බවට සැකපිට 27 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකුගේ නිවසක් සෝදිසි කිරීමට එරට ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පියවර ගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අදාළ පුද්ගලයාගේ තමිල් නාඩු ප්‍රාන්තයේ, ශිවගංගා නගරයේ පිහිටි නිවසක් එරට ජාතික විමර්ශන ඒජන්සියට අනුයුක්ත නිලධාරීන් තිදෙනෙකු විසින් ඊයේ (ඔක්. 7) සෝදිසි කරනු ලැබ ඇති බව ය.
ශිවගංගා දිස්ත්‍රික් පොලිස් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, NIA කණ්ඩායම විග්නේෂ්වරන් නමැති අදාළ පුද්ගලයාගේ නිවස පැය දෙකක පමණ කාලයක් සෝදිසි කළ බව ය.
එහිදී NIA නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර, සෝදිසියේදී හමු වූ එල්.ටී.ටී.ඊ. ය පිළිබඳ ලියකියවිලි කිහිපයක් සහ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සිය භාරයට ගෙන තිබේ.
විග්නේෂ්වරන් නමැති අදාළ පුද්ගලයා චෙන්නායිහි සේවය කරමින් සිට ඇති අතර තහනම් එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් අය සමග සම්බන්ධතා පවත්වා ඇතැයි තවත් ආරංචි මාර්ගයක් සඳහන් කර ඇත.
ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඔහු Naam Tamilar Katchi (NTK) පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු බව ය.