හිටපු ජනපති මෛත්‍රී ළඟ තියාගෙන ජනපති රනිල් කියපු කතාව

October 10, 2022 - 3:55 PM

හිටපු ජනපති මෛත්‍රී ළඟ තියාගෙන ජනපති රනිල් කියපු කතාව | දේශීය පුවත්

රට ගොඩනැගීමට අවශ්‍ය වන්නේ, ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කටුනායක අපනයන සැකසුම් කලාපයේ ස්ථාපනය කරන ලද ඖෂධ නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවට අද (ඔක්. 10) එක් වූ අවස්ථාවේදී ය.

පක්ෂ භේදයකින් තොරව එක ම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැගීමට කැපවීමේ අවශ්‍යතාව ද ඔහු එහිදී අවධාරණය කළේ ය.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියේ ය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළට ම ඔසවා තබමින් දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් සේම දේශපාලන ස්ථාවරත්වයක් ද පැවතිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා, 'ජාතික සභාව' වේදිකාවක් කර ගනිමින් ජාතික ප්‍රතිපත්ති රාමුව පිළිබඳ සාකච්ඡා කිරීමට එක් වෙමු යැයි ද පැවසීය.

තරගකාරී හා නවීන තාක්ෂණය යොදවා අපනයන ආර්ථිකයක් සකස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කළේ ය.

"අද අපි විවෘත කරන මෙම ආයතනය ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා ලෙස ත්, මම අගමැතිවරයා ලෙසත් ඉන්න කාලේ. රාජිත සේනාරත්න මහතා එදා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළා. අපි සියලු දෙනා මෙය ඉදිරියට ගෙන ගියා. මේක යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිඵලයක්. අපි නිශ්ශබ්දවයි වැඩ කළේ. ඊට පස්සේ මේ ආණ්ඩුව වෙනස් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනාට පස්සේ මේ වැඩපිළිවෙළ නැවැත්තුවේ නෑ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාරු වෙනකොට පැවති ආණ්ඩුව කරපු වැඩකටයුතු නතර කරනවා. ඒත් මේක නතර කළේ නැහැ. ඉන් පසුව මම ජනාධිපති වෙලා අද මේක විවෘත කරනවා.

අපි සියලු දෙනා එක ජාතික ප්‍රතිපත්තියක සිට කටයුතු කළ යුතුයි. අපිට පුළුවන් එදිනෙදා වාද විවාද කරන්න. ඒත් අපි එක ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. ඒ ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ ඉදිරියට යනවා නම් කිසි විටෙක අපි අසාර්ථක වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කළා. ආණ්ඩු ඇතුළේ  ඇමතිවරු වෙනස් වෙනකොටත් ප්‍රතිපත්ති වෙනස් කළා. ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ?"

WhatsApp
Telegram
Make a Comment
Make a Comment