වැලිකඩින් මතු වූ "ස්පයිඩර් මෑන්"

October 11, 2022 - 9:43 AM

වැලිකඩින් මතු වූ "ස්පයිඩර් මෑන්" | දේශීය පුවත්

"පොලිසියෙන් අල්ලපු දවසේම හිරෙන් පනින්න ප්ලෑන් කළා."
" බල්ටි ගහමින් පොලිමෙන් පැනගත්තා"
"හිරගෙදර තාප්පෙන් පනින්න ගියේ සුළු වෙලාවක්"

යැයි "වැලිකඩ ස්පයිඩර් මෑන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිරකරුවකු බන්ධනාගර නිලධාරින් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරු වී දෙමසක සිරදඬුවමක් නියමව බන්ධනාගාර ගතවූ 35 හැවිරිදි සුරංග දිනේෂ් නමැති මෙම සිරකරු  සැප්තැම්බර් 15 වැනිදා සිට හිරගෙදරින් අතුරුදන් වී තිබූ අතර බන්ධනාගාර නිලධාරින් දින 3ක් තිස්සේ හිරගෙදරම පීරා බැලුවද ඔහු සොයා ගැනීමට නොහැකි වී තිබිණි.

එහෙත් නැවත වරක් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ඔක්තෝබර් 7 වැනිදා බන්ධනාගාර නිලධාරීන්ට හමුවී තිබේ. ඒ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවකට යළිදු වරක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුවය.

එහිදී මෙම පුද්ගලයා තමා හිරගෙදරින් පැන ගිය ආකාරය බන්ධනාගාර නිලධාරීන්ට හෙළිකර තිබේ. ඔහු පවසන පරිදි ඔහුට වැලිකඩ හිරගෙදර අඩි 20 ක පමණ උසැති තාප්පයෙන් පැනීමට ගත වී ඇත්තේ විනාඩි තුනකි.

මුල්වරට මෙම සැකකරු බන්ධනාගාර ගතවී තිබුණේ සැප්තැම්බර් 16 වැනිදාය.එදින රාත්‍රියේ සිරමැදිරි වෙත යොමුකිරීමට සිරකරුවන් පෝලිම්ගත කරන අතරේ එම පිරිස අතුරින් පසුපසට බල්ටි ගසමින් අඳුරේම එතැනින් පැනගොස් එතැනින් කර්මාන්ත අංශය දෙසින් ගොස් අඩි 20ක් උසැති තාප්පයෙන්  පැන යාමට සමත්ව ඇත.

මෙම සැකකරු අට්ටාල දෙකක් අතරින් වූ කොටසේ තාප්පය දිගේ අත් තබමින් විනාඩි තුනෙන් ඉහළට නැගගත් අයුරු  බන්ධනාගාර නිලධාරීන්ට නැවතත් සිදුකර පෙන්වීමටද සමත්ව ඇත. එමෙන්ම කිසිම ආධාරකයක් නැතිව මකුළුවකු විලාසයෙන් තාප්පය දිගේ ඉහළට ගොස් තාප්පයෙන් බන්ධනාගාර මූලස්ථානය දෙසට විදුලි කණුවල ඇති රැහැන් ඔස්සේ පලාගොස් විනාඩි 15කට අඩු කාලයකදී බන්ධානගාරයෙන් මොහු පැනයාමටද සමත්ව ඇත.

තම පවුලේ අය මොහුට වරින් වර ත්‍රිරෝද රථ කීපහක් මිලට ගෙන ලබා දී  ඇතත් අධික මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වී සිටි සැකකරු ත්‍රීරෝද රථ විකුණා දමා මත්ද්‍රව්‍ය භාවිතාකොට ඇති බව වාර්ථාවේ.
අවසානයේ මුදල් නොමැති තැන මෙම සැකකරු වෘත්තීය වශයෙන් ගස් නැගීම සිදුකරගෙන ගොස් ඇත.

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරු වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් තිබේ.

දිනපතා 'අරුණ' පුවත්පත ඇසුරෙනි

WhatsApp
Telegram
Make a Comment
Make a Comment