රටක ආරක්ෂාව යුධමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, අද (ඔක්. 11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.
ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී මතුව ඇති ගැටලු හුදෙක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින කඩා වැටීම නිසා සිදුව ඇති තත්ත්ව නිරාකරණය කර ගැනීමට ඕනෑ ම අවස්ථාවක මැදිහත්වීමට තමා සුදානම් බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
එමෙන් ම, මෙම වැඩපිළිවෙළ හරහා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ.
“කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන්න තේමා කර ගනිමින් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා ඇත.
දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී විමසා බලා ඇති අතර මේ වනවිටත් සියලුම දිස්ත්‍රික්කවල ග්‍රාමීය මට්ටමින් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවා ඇති බව ත්, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමට වැඩසටහන් ආරම්භ කර ඇති බව ත් අනාවරණය වී තිබේ.
ඒ ඒ දිස්ත්‍රික්වලට අදාළව වගා කටයුතු කරගෙන යාමේදී පවතින බාධක සහ ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඉන්ධන සහ පොහොර සපයා ගැනීම, ඉඩම් ගැටලු, බීජ හිඟය සහ වන සතුන්ගෙන් වන වගා හානි පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු වී ඇත.
මෙම තොරතුරු මත පදනම්ව ආහාර බැංකු (food bank) සහ ප්‍රජා මුළුතැන් ගෙය (Community kitchen) යන වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
මේ වන විට රාජ්‍ය සේවයේ පමණටත් වඩා පිරිස සිටින බැවින් ඔවුන් සියලුදෙනා මෙම වැඩසටහනට දායක කර ගැනීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සහය ද ඊට ලබා ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබේ.
2023 වසර දක්වා වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කර ජනතාවගේ පෝෂණ අවශ්‍යතා තහවුරු කිරීම සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක ආර්ථික අර්බුදයට සූදානම් වීමට මෙම වැඩසටහන උපයෝගි කර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත.