දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරට ත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (ඔක්. 14) දිනයේත් වළාකුළුවලින් බරව පවතින බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
එසේ ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර, ජාතික ගොඩනැලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක තුනක් සදහා නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම සංවිධානය සඳහන් කළේ, ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බව ය.
ඒ අනුව ගාල්ල බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල, ඇහැළිගොඩ, ඇලපාත, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට සහ කලවාන යන ප්‍රදේශ සඳහා නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය, දොඩංගොඩ සහ අගලවත්ත, මතුගම සහ බණ්ඩාරගම යන ප්‍රදේශ සඳහා ද නාය යාමේ අනතුරු ඇඟවීම් සිදුකර ඇති බව ජාතික ගොඩනැලි පර්යේෂණ සංවිධානය පැවසීය.