නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකස් කල අති සුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25 කට විකිණීමට පැමිණි පුද්ගලයකු සහ මෝටර් රථය ක්ෂණික වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
මිල අධික මෝටර් රථයක් අඩු මිලකට අලෙවි කිරීමට නියමිත බවට වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
ඒ අනුව වලාන දූෂණ මර්දන ඒකකය උපාය දූතයෙකු මාර්ගයෙන් මෝටර් රථය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා නාරාහේන්පිට ප්‍රදේශයට ගෙන්වාගෙන ඇත.
අනතුරුව මෝටර් රථය වලාන දූෂණ මර්ධන ඒකකය භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ මෝටර් රථය පරික්ෂා කිරීමේදී එහි චැසිය වෙනස් කර තිබූ අතර සවිකර තිබූ ලියාපදිංචි අංකයට ව්‍යාජ ලිපි ලේඛන ද සකසා තිබූ බව පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් මෝටර් රථයේ සවිකර තිබූ ලියාපදිංචි අංකය කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් නැනෝ මෝටර් රථයක ලියාපදිංචි අංකය බවට තහවුරු වූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.
වාහන ආනයනය කරන පෑලියගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම කූට ජාවාරම පිටුපස සිටින බවට සිදුකළ මූලික විමර්ශනවලදී තහවුරු වූ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් වන අතර ද ඔහුද වාහන කිහිපයක හිමිකරුවෙක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(දිනපතා 'අරුණ' ඇසුරෙන්)