මොනරාගල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන සියයක ප්‍රදානයක්

October 17, 2022 - 3:26 PM

මොනරාගල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන සියයක ප්‍රදානයක් | දේශීය පුවත්

මොනරාගල දිස්ත්‍රික්කයේ දේශීය ආයුර්වේද නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර, විජලනය කරන ලද එළවලු හා පලතුරු අපනයනය කිරීම ආශ්‍රිත ව්‍යාපාර, ආරක්‍ෂිත ගෘහ තුළ වගා කිරීමේ ව්‍යාපාර, පොල් සහ පොල් ලෙලි ආශ්‍රිත නිෂ්පාදන ආදි ව්‍යාපෘති රැසක් සදහා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන සියයකට අධික ප්‍රදානයන් ලබා දී තිබේ.
 
එම ව්‍යාපෘති මගින් 400කට අධික ඍජු රැකියා උත්පාදනය සහ 5000කට අධිකව ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේත් ගොවි සංගම් වලත් අස්වනු ඉහළ මිලකට මිල දී ගැනීම සිදු කරයි. 
 
තව ද එම මිල දී ගත් අස්වනු අග‍යදාම සංවර්ධන ක්‍රියාවලි ඔස්සේ අපනයන වෙළදපොළ වෙත යොමු කිරීම සිදු කරනු ලබ යි.
 
2020 වසරට සාපේක්ෂව, 2021 වසරේදී ඉහළ අගයක් ගත් අපනයන ආදායම සඳහා ද එම ව්‍යාපෘති බලපා තිබේ.
 
මෙම ව්‍යාපෘති ලබා දුන් මූල්‍ය ප්‍රදානවල ආයෝජන අතර බුත්තල කර්මාන්ත පුරයේ ස්ථාපනය කර ඇති සෙහානි දේශීය ඖෂධ සමාගම, ඇල්ල කැමිලොට් සමාගම, වර්ල්ඩ් සිලෝන් ඇග්‍රො හර්බල් සමාගම, සිබෝ ෆුඩ් සමාගම සහ සෙවණගල ආයුර්වේද සමාගම වේ.
 
ඊට අමතරව, අන්තර්ජාතික වෙළෙඳපොළට ගැළපෙන පරිදි නවීන අසුරුම්කරණයන්ගෙන් සහ විශේෂ තත්ත්ව සහතික යටතේ ඔවුන් විසින් සිදු කරනු ලබන නිෂ්පාදන වර්තමාන අපනයන වෙළෙඳපොළට මෙන් ම දේශීය ආයුර්වේද කර්මාන්තයට ද යොමු වීමට බලාපොරොත්තුවන නව්‍ය ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ද අදාළ ව්‍යපෘති දායක වී ඇත.
 
කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දිවයිනේ සෑම ප්‍රදේශයක් ම ආවරණය වන පරිදි 2017 වර්ෂයේ සිට මේ දක්වා දේශීය ව්‍යාපාරික ප්‍රජාව සදහා අවශ්‍ය වන මූල්‍යමය ප්‍රතිපාදන සහ කෘෂි තාක්ෂණය ලබා දෙමින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා කටයුතු කරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment