ශ්‍රී ලාංකීය ලේඛක ෂෙහාන් කරුණාතිලක මේ වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගෙන තිබේ. ග්‍රන්ථකරණය සම්බන්ධයෙන් ලොව ඉහළින්ම පිළිගැනෙන බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛකයෙකුට හිමි වූ දෙවන අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය පිළිබඳ දේශපාලන උපහාසයක් වන "The Seven Moons of Maali Almeida" (මාලි අල්මේදාගේ සත් සඳ) ඉංග්‍රීසි නවකතාව සඳහා ඔහුට බුකර් ත්‍යාගය හිමිව තිබේ.
ලන්ඩනයේ පැවති උත්සවයකදී ෂෙහාන් කරුණාතිලක මෙම සම්මානය පිළිගත්තේ කැමිලා බිසව අතිනි.. ත්‍යාග මුදල ලෙස පවුම් 50,000ක් (රු. ලක්ෂ 207) දිනාගත්තේය.
කරුණාතිලකයන්ගේ මෙම පොත ප්‍රකාශයට පත් කරන ලද්දේ ස්වාධීන බ්‍රිතාන්‍ය ප්‍රකාශන ආයතනයක් වන Sort of Books විසිනි.
මේ පොතට 1990 දශකය පසුබිම් වන අතර එය රටේ සිවිල් යුද්ධයේදී මිය ගොස් නැවත නැඟිටින සමලිංගික ඡායාරූප ශිල්පියෙකු ගැන කියැවෙන්නකි.
ඔහුව මරා දැමුවේ කවුරුන් ද යන්න ගැන කිසිදු අදහසක් නොමැතිව, මාලිට ඔහු වඩාත් ම ආදරය කරන පුද්ගලයින් සම්බන්ධ කර ගැනීමටත් සහ ඔවුන්ව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ම්ලේච්ඡත්වයේ සැඟවුණු ඡායාරූප ගබඩාවකට ගෙන යාමට ඇති කාලය පිළිබඳව එහි සඳහන් වී ඇත.
සිය ත්‍යාගය ලබා ගනිමින් සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් ශ්‍රී ලාංකේය ජනතාව අමතමින් ශෙහාන් කරුණාතිලක ප්‍රකාශ කර ඇත්තේ, “මම පොත් ලියන්නේ ඔබ වෙනුවෙන්… අපි මේ කතා බෙදාහදා ගනිමු,” යනුවෙනි.
මෙම වසරේ බුකර් විනිසුරුවන්ගේ සභාපති නීල් මැක්ග්‍රෙගර් පැවසුවේ මෙම පොත සම්පූර්ණයෙන්ම "දාර්ශනික චමත්කාරයක්" බවත්, "අභිලාෂය, විෂය පථය සහ කුසලතාව, නිර්භීතකම සහ ක්‍රියාත්මක කිරීමේ හාස්‍යජනක බව" නිසා ත්‍යාගය ජයග්‍රහණය කළ බවයි.එය “ජීවිතය සහ මරණය හරහා රෝලර්කෝස්ටර් ගමනක පාඨකයා රැගෙන යන නවකතාවක්,” බවත් මැක්ග්‍රෙගර් ප්‍රකාශ කර තිබේ.
කරුණාතිලකයන් 1975 දී ගාල්ලේ උපත ලැබූ අතර හැදී වැඩුණේ කොළඹදීය. ඔහු බොහෝ ජාත්‍යන්තර ප්‍රකාශන සඳහා ලිපි ලියා ඇති අතර ලන්ඩන්, ඇම්ස්ටර්ඩෑම් සහ සිංගප්පූරුවේ විවිධ රැකියාවල සේවය කරමින් ජීවත් විය.
මෙම ශ්‍රී ලාංකීය ලේඛකයා ප්‍රථම වරට සාහිත්‍ය අවධානය දිනා ගත්තේ දශකයකට පෙර, 2011 දී ඔහුගේ කුළුඳුල් නවකතාව චයිනමන් සමඟිනි.
මෙවර බුකර් ත්‍යාගය සඳහා වූ කෙටි ලැයිස්තුවට බ්‍රිතාන්‍ය කතුවරයකු වන ඇලන් ගාර්නර්ගේ "ට්‍රේකල් වෝකර්", සිම්බාබ්වේ කතුවරයකු වන නොවයලට් බුලවායෝගේ "ග්ලෝරි" සහ ඇමරිකානු ලේඛක පර්සිවල් එවරෙට්ගේ "ද ට්‍රීස්" ද ඇතුළත් විය.
1992 වසරේ The English Patient නවකතාව සඳහා සම්මානයට පාත්‍ර වුණු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ලේඛකයෙකු වන Michael Ondaatjeට පසුව බුකර් ත්‍යාගය දිනාගත් දෙවන ශ්‍රී ලාංකික ලේඛකයා ලෙස ශෙහාන් කරුණාතිලක සැලකෙයි.