අන්තරේ පාගමන පොලීසියෙන් නතර කරයි

October 18, 2022 - 9:19 PM

අන්තරේ පාගමන පොලීසියෙන් නතර කරයි | දේශීය පුවත්

කැලණිය විශ්වවිද්‍යාලය අසල සිට කොළඹ කොටුව දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය අද (18) පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පාගමන එම විශ්වවිද්‍යාලය අසලදීම විසිරුවා හැරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

එහිදී පොලීසිය නිවේදනය කළේ, පොලීසිය දැනුවත් නොකර විරෝධතාවය ආරම්භ කළ බැවින් විරෝධතාකරුවන්ට වහාම විසිරයන ලෙසය.

විරෝධතාකරුවන් කොළඹ දෙසට පාගමන ආරම්භ කළත් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පොලීසිය සම්පූර්ණයෙන් අවහිර කර තිබුණි.

පස්වරු 4 ට පමණ පොලීසිය කොළඹ සිට මහනුවර දෙසට දිවෙන මං තීරුව විවෘත කර රථ වාහන ධාවනයට අවස්ථාව සලසා දුනි.

අනතුරුව පොලීසිය විසින් විරෝධතාකරුවන්ව කැලණිය විශ්වවිද්‍යාලය අසලට යොමු කිරීමට කටයුතු කළේය.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

පසුව සෙසු පිරිස කැලණිය විශ්වවිද්‍යාල පිවිසුම් මාර්ගය අසල සිට රැලියක් පවත්වා තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය අද පස්වරු 3 ට කැලණිය විශ්වවිද්‍යාලය අසලින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි.

ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන්නැයි බලකරමිනි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment