අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

October 19, 2022 - 1:21 AM

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති | දේශීය පුවත්

අනුරාධපුර අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොළඹ ⁣පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.


1953 ජනවාරි 02 වැනි දින මාතලේ දිසාවේ පල්ලේගම නමැති ගම්පියසේ පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුඳුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන් අපවත්වන විට හැටනව(69) වන වියේ පසු වූහ.

1995 වසරේදී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්කෙරුණේ මහත් ගෞරව බහුමානයෙනි. ඒ ගෞරවනීය පදවිය ලැබීමත් සමඟම පල්ලේගම සිරිනිවාස හිමියෝ පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි නම් වූහ.

සිරිනිවාස නාහිමියන් රුවන්වැලි මහාසෑයට පැමිණීමෙන් පසු රෝගාතුරවූ පල්ලේගම ඤාණරතන අටමස්ථානාධිපති නාහිමියන් අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරයට ඊළඟ සුදුස්සා වූයේ සිරිනිවාස නාහිමියන්ය. අටමස්ථාන කාරක සභාවේ අවසන් තීරණයෙන් පසු අටමස්ථානාධිපති ඉතිහාසයේ එම උත්තරීතර පදවියට පත්වුණු ළාබාලම භික්ෂූන් වහන්සේ බවට සිරිනිවාස නාහිමියන් පත්වී සිටියහ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment