ජයිකා මෙරට ව්‍යාපෘති 12කට මුදල් දීම නවත්වයි

October 19, 2022 - 1:27 PM

ජයිකා මෙරට ව්‍යාපෘති 12කට මුදල් දීම නවත්වයි | දේශීය පුවත්

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති 12ටම මුදල් ලබා දීම අත්හිටුවා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. 

 
අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ මෙම වසර මුලදී විදේශ ණය නොගෙවන බවට ශ්‍රී ලංකාව ප්‍රකාශ කිරීමෙන් පසුව ජයිකා ණය ලබාදීම අත්හිටුවා ඇති බවයි. 
 
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දෙවන පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු ජයිකා ආයතනයේ ප්‍රතිපාදන මත ආරම්භ කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළා. 
 
කෙසේ වෙතත් ජයිකා ආයතනයේ මෙම තීරණයෙන් පසු පර්යන්තයේ ඉදිකිරීම් තාවකාලිකව නවතා දැමූ බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
තමන් ජයිකා ආයතනයේ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියා. 
 
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත්වීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එකඟ වූ පසු අරමුදල් ලබාදීම නැවත ආරම්භ කරන බව ජයිකා ආයතනය විසින් තමාට දන්වා ඇති බව අමාත්‍යවරයා පැවසුවා. 
 
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යාන්ත්‍රණය අවසන් වනතුරු මුදල් නිදහස් කිරීමට නොහැකි බව ජයිකා ආයතනය තමන්ට දැනුම් දුන් බවද අමාත්‍යවරයා සඳහන් කළා. 
 
කෙසේ වෙතත්, ගුවන්තොටුපොලේ දෙවන පර්යන්තයේ ඇතැම් කොටස් නිම කිරීම සඳහා දේශීය අරමුදල් භාවිත කිරීමට තමන් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බව අමාත්‍යවරයා පැවසුවා. 
 
අනුමැතිය ලැබුණු පසු නැවත ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවා. 

WhatsApp
Telegram
Make a Comment
Make a Comment