විසි වසරකට පසු ඉන්දියාවේ ගාන්ධි පවුල කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් විසිවෙයි

October 19, 2022 - 6:40 PM

විසි වසරකට පසු ඉන්දියාවේ ගාන්ධි පවුල කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් විසිවෙයි | විදේශීය පුවත්

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයේ නායකත්වය සඳහා පැවති නිලවරණය ජයග්‍රහණය කිරීමට එරට ප්‍රවීණ දේශපාලඥයෙකු වන මල්ලිකාර්ජුන් කාර්ගේ සමත් වී තිබේ.

සිය ප්‍රතිවාදියා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවට වඩා 8 ගුණයක් ඡන්ද ලබා ගනිමින් ඔහු සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මල්ලිකාර්ජුන් කාර්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශෂී තරූර් ප්‍රකාශ කර ඇත්තේ, “කොංග්‍රස් පක්ෂයේ පිබිදීම සත්‍ය වශයෙන් ම ආරම්භ වූයේ අද යැයි තමන් විශ්වාස කරනවා,” යනුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, වසර 20කට අධික කාලයකට පසු කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට ගාන්ධි පවුලේ නොවන කෙනෙකු තේරී පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බව ය.

ගාන්ධි පවුලේ නොවන කෙනෙකු ලෙස ඊට පෙර පක්ෂ සභාපතිත්වය දැරූ සිතාරාම් කේශ්රි සිය පස් අවුරුදු ධූර කාලය අවසන් වීමට වසර දෙකක් තිබියදී 1998 වසරේදී එම ධූරයෙන් අවිධිමත් ලෙස ඉවත් කර ඇත.

ඔහුගෙන් පසු පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා නැසී ගිය ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ බිරිඳ වන සෝනියා ගාන්ධි තේරී පත් වුණු අතර ඇය වසර 19ක කාලයක් එම ධූරය දරුවා ය.

ඇයගෙන් අනතුරුව 2017 වසරේදී රාහුල් ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ සභාපති ධූරය සඳහා නිතරගයෙන් තේරී පත් වුණු අතර 2019 මහ මැතිවරණය පරාජය වීමේ වගකීම භාර ගෙන ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් විය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment