ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත යාවත්කාලීන කර එහි ක්‍රියාකාරීත්වය ප්‍රතිව්‍යුහගතකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා වෙත පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.
මේ අනුව සති 6ක් ඇතුළත මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ කෝප් කමිටුවට වාර්තාවක් ලබාදීමටයි නිර්දේශ කර ඇත්තේ.
මෙම නිර්දේශ සිදු කළේ ඉඩම් ප්‍රතිසංසකරණ කොමිෂන් සභාවේ 2020 වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
මෙහිදී කෝප් කමිටුව විසින් නිර්දේශ කිහිපයක්ම එම කොමිෂමට ලබාදුන් අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ පරීක්ෂාකර බැලීමට ඉඩම් ප්‍රතිසංසකරණ කොමිෂන් සභාව නැවත මාස 3ක් ඇතුළත කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
මෙහිදී මෙම කොමිෂන් සභාව ඉඩම් පැවරීමේදී පවතින ගැටළු කෝප් කමිටුවට නිරීක්ෂණය වූ අතර මේ අනුව පසුගිය වසර 20ක කාලසීමාව තුළ ඉඩම් පැවරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් වාර්තාවක් මාසයක් ඇතුළත කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමටයි කෝප් කමිටු සභාපතිවරයා විසින් නිර්දේශ කර ඇත්තේ.
එසේම ඉඩම් හඳුනාගැනීම සහ වටිනාකම ඇස්තමේන්තුගත කිරීම සඳහා කාර්යසාධන බලකායක් පිහිටුවීමට කෝප් කමිටුව නිර්දේශ කළ අතර එම කාර්යසාධන බලකායට පැවරෙන වගකීම් පිළිබඳ විස්තර අමාත්‍යාංශ ලේකම් විසින් සති දෙකක් ඇතුළත කෝප් කමිටිවට වාර්තා කිරීමට නිර්දේශ කෙරුණා.
මෙම කාර්යසාධන බලකාය සඳහා මැනුම්පති හෝ ඔහුගේ නියෝජිතයෙක් එසේම රජයේ තක්සේරුකරු හෝ ඔහුගේ නියෝජිතයෙක් පත් කිරීමට ද කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.
තවද “2018 ඉඩම් කැබලි දසලක්ෂයක් බෙදාදීමේ ව්‍යාපෘතිය” පිළබඳව ද කෝප් කමිටුවේදී සාකච්ඡා වූ අතර මෙහි ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර නිර්දේශ කර තිබෙනවා.
විශේෂයෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා තාවකාලික පදනම මත බඳවාගත් 214 දෙනෙකු පිළිබඳ කළමනාකරණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර අනුමත සේවක සංඛ්‍යාවට ඇතුළත් කරගැනීම පිළිබඳ නිෂ්චිත අවසන් තීරණයක් ගෙන අවශ්‍ය නම් අමාත්‍යමණ්ඩල අනුමතිය සඳහා යොමු කිරීමටයි මෙහිදී නිර්දේශ කළේ.
එසේම ඉඩම් බෙදාදීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තුළට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටිය ඇතුළත් කර අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ද කෝප් කමිටුව මෙහිදී නිර්දේශ කරනු ලැබුවා.
එමෙන්ම වසර 50ක් පැරණි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත වර්තමානයට ගැලපෙන ආකාරයෙන් යාවත්කාලීන කිරීමටද මෙහිදී කෝප් කමිටුව විසින් නිර්දේශ කිරීම සිදු කෙරුණා.
එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආරම්භ කළ දැනට රුපියල් මිලියන 350ක් වියදම් කර තාවකාලිකව නවතා ඇති කාබනික පොහොර ව්‍යාපෘතිය පොහොර නිෂ්පාදන පිළිබඳ දැනුමක් ඇති රාජයේ ආයතනයකට පැවරීමට සති දෙකක් ඇතුළත කටයුතු කරන ලෙස ද කෝප් කමිටුව නිර්දේශ කළා.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අතුරුදහන් වූ ලිපිගොනු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර අතුරුදහන් වූ ලිපිගොනු ලේඛන විගණකාධිපතිතුමාවෙත වහාම ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුව එම කොමිෂන් සභාවට දැනුම් දීම මෙහිදී සිදු කෙරුණා.
ව්‍යවස්ථාපිත පැවරීම් යටතේ කලින් හඳුනාගෙන ඇති ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳීම පිළිබඳ වහාම කිටයුතු කිරීමටද මෙහිදී කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.
එසේම මෙම කොමිෂන් සභාවේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපති මතයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වසර 10ක පමණ කාලයක සිට වියාචනය කර ඇති බැවින් මූල්‍ය ප්‍රකාශන නිවැරදිව සකස් කොට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මාස 3ක් ඇතුළත කටයුතු කරන ලෙස ද මෙහිදී දැනුම්දීම සිදු වුණා.
එසේම පූර්ණ ඒකාබද්ධ පරිගණක පද්ධතියක් නිර්මාණයකිරීම සහ සංවර්ධනය කිරීම වෙනුවෙන් පෞද්ගලික පරිගණක ආයතනයක් වෙත ගෙවන ලද රුපියල් මිලියන 17ක මුදල නැවත අයකරගැනීම සඳහා අදාළ සමාගමට එරෙහිව කටයුතු කරන ලෙස සහ එම කටයුත්තට සම්බන්ධ නිලධාරීනට විරුද්ධව විනයානුකූල පියවර ගැනීමටද කෝප් කමිටුව නිර්දේශ කළා.
හෝමාගම ප්‍රදේශයේ බදු ඔප්පුවක් නොමැතිව පෞද්ගලික සමාගමකට පවරා ඇති අක්කර 6ක ඉඩම් ප්‍රමාණය වෙනුවෙන් අයකරගත යතු රුපියල් මිලියන 12කට ආසන්න මුදල අයකරගැනීම සඳහා සති දෙකක් ඇතුළත නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසද කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා ගිවිසුම් ගත නොවීම සහ තක්සේරු විටනාකමෙන් 6% වෙනුවට 4% ක් අයකිරීම වෙනුවෙන් පරීක්ෂාකර කෝප් කමිටුව වෙත වාර්තා කිරීමටද මෙහිදී දැනුම් දීම සිදු වුණා.
අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව කුලී ගිවිසුමකින් තොරව 2016 වර්ෂයේ සිට රජයේ තක්සේරුව ඉක්මවමින් මෙම කොමිෂමේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල කුලියට ගැනීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීම සහ එම කාර්යාලය රජයේ ගොඩනැගිල්ලකට ගෙනයාම සඳහා කඩිනමින් පියවර ගැනීමටද මෙහිදී කෝප් කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.
තවද වැටුප් දෙකක් ලබාගත් නීතිඥයෙක් වන විමර්ශන නිලධාරියෙක් සම්බන්ධයෙන් අදාළ ආයතන විමසා මිලියන 1.7ක වැටුප් සහ අනෙකුත් දීමනා අයකරගැනීමට කටයුතු කිරීමට ද, එම නිලධාරියාට විරුද්ධව කටයුතු කිරීමටද මෙහිදි නිර්දේශ කරනු ලැබුවා.
එසේම රජයේ ආයතනවලින් අය කර ගතයුතු හිඟ බදු ආදායම වන බිලියන දෙකක මුදල සම්බන්ධයෙන් අදාළ ආයතන සමග සහ මහා බාණ්ඩාගාරය සමග සාකච්ඡා කර කඩිනමින් නිරවුල් කිරීමට කටයුතු කරන ලෙස ද මෙහිදී නිර්දේශ කෙරුණා.