රාජ්‍ය දැව සංස්ථාව ගෙවුණු මාස 9 තුළ රු. කෝටි 373ක ආදායමක් උපයයි

October 24, 2022 - 4:40 PM

රාජ්‍ය දැව සංස්ථාව ගෙවුණු මාස 9 තුළ රු. කෝටි 373ක ආදායමක් උපයයි | දේශීය පුවත්

2022 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 3,735ක ලාභයක් උපයා තිබේ.

කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය ප්‍රගතිය සම්බන්ධව සිදු කළ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මේ වනවිට රජය විදේශ රටවලින් දැවමය ගෘහ භාණ්ඩ මෙරටට ආනයනය කිරීම අත්හිටුවා තිබීම හේතුවෙන් රාජ්‍ය දැව සංස්ථාවේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පවතියි.

මෙම වසර අවසන් වන විට රාජ්‍ය දැව සංස්ථාවේ ආදායම තව ත් රුපියල් මිලියන 250කින්වත් ඉහළ නංවාගැනීම සඳහා පියවර ගන්නැයි අමරවීර මහතා මෙහිදී උපදෙස් දී තිබේ.

දැනට අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවකට සහභාගි වන අමාත්‍යවරයා පසුගිය සතියේ සූම් ඔස්සේ මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් මෙම අදහස් පළ කර ඇත.

මීට අමතරව දැනට රාජ්‍ය දැව සංස්ථාව සතුව කළුවර වර්ගයේ දැව මෙට්‍රික් ටොන් 500කට වඩා විශාල තොගයක් පවතින බව ත් එම කළුවර දැව මිශ්‍රව යොදාගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොලට අපනයනය සඳහා ගෘහ භාණ්ඩ සැකසීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

එමෙන් ම ඉදිරි වසර කිහිපය තුළදී ද මෙරටට ගෘහභාණ්ඩ ආනයනය කිරීම සඳහා රජය අවසර නොදෙන බව ත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ඒ හේතුවෙන් රාජ්‍ය දැව සංස්ථාව ඉදිරි කාලය තුළ මෙරට වෙළෙඳපොළට හොඳ ම දැව සපයන්නා බවට පත් වීමට මෙන් ම ජාත්‍යන්තර වෙළෙඳපොළට ද තම නිෂ්පාදන හඳුන්වා දෙනු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් වීමට අවශ්‍ය පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහිදී ජාත්‍යන්තර වෙළෙඳපොළට දැව හා දැව නිෂ්පාදන අපනයනය සඳහා දැනට පවතින නීතිමය බාධක සියල්ල ඉදිරි මාස දෙක තුළ අවසන් කරන බව ත් රාජ්‍ය දැව සංස්ථාව විදේශ විනිමය උපයන ආයතනයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බව ත් අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment