ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරාවි - පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ්

October 24, 2022 - 7:14 PM

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරාවි - පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් | ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අතර පන්දු වාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගයක් හෙට (25) පැවැත්වෙනවා.

මේ තරගය ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට අතිශයින් තීරණාත්මක වන්නේ ඔවුන් මේ වන විටත් තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයේදීම නවසීලන්ත කණ්ඩායම හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දී සිටීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මුහුණ දුන් පළමු තරගයේදී අ‍යර්ලන්ත කණ්ඩායම පහසුවෙන් පරාජය කළ අතර පළමු වන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන තුන් වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.

හෙට තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් කියා සිටියේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික තත්ත්වය ඉතා ඉහළ මට්ටමක ඇති බවයි.

කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් ඔවුන්ගේ දක්ෂතා උපරිමයට ලඟා වී ඇති බවත් හෙට පැවැත්වෙන තරගයේ දී එම තත්වය වඩාත් සාධනීය ලෙස බලපානු ඇති බවත් ඔහු කියා සිටියා.

මේ තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකුවෙකු වන භානුක රාජපක්ෂ කියා සිටියේ හෙට තරගය තුළදී තමන් ලකුණු අතරට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ භානුක කියා සිටියේ "පිතිකරුවෙකු ලෙස හෙට තරගයේදී ලකුණු අතරට පිවිසීම මගේ පළමු අභිප්‍රායයි. හතරේ සීමාවට ඉහළින් පන්දුව යොමු කිරීම් හරහා මගේ සුපුරුදු රිද්මයට පැමිණෙන්නට මම උත්සාහ කරනවා. ඒක මා ඉදිරියේ ඇති අභියෝගයක් ඔහු කියා සිටියා.

තරගයේ ආරම්භක පන්දු ඕවර කීපයේ දී පිතිකරුවන්ගේ හැසිරීම තරගයට දැඩි ලෙස බලපාන බවත් මේ වන විට ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන්ගේ දක්ෂතා යහපත් ලෙස ඔප මට්ටම් වී ඇති බවත් ඔහු කියා සිටියා.

මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වන මහේෂ් තීක්ෂණ සහ වනිදු හසරංග දෙදෙනා ඔවුන්ගේ රිද්මය හොඳින් පවත්වා ගැනීමත් ක්‍රීඩකයින්ගේ මානසික තත්ත්වය ඉහළ දැමීමට හේතු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔස්ට්‍රෙලියානු වේගපන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් ක්‍රියාත්මක වන ආකාරය අනුව හෙට තරගයේ හැඩය සකස් වන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් දක්ෂතා මේ වනවිට උපරිම තත්වයට පැමිණ ඇති බවත් මේ ආකාරයෙන් ඔවුන් දිගින් දිගටම ක්‍රියාත්මක වුවහොත් ලොව ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමට හැකි තත්ත්වයක ඔවුන් සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් පවසනවා.

මෙහිදී හෙට තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔස්ට්‍රෙලියානු ප්‍රහාරාත්මක පිතිකරුවා වන මිචෙල් මාෂ් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක මට්ටමේ පිතිකරුවන් සහ පන්දු යවන්නන් රැසකගෙන් පරිපූර්ණ අතිශය භයානක තරගකාරී කණ්ඩායමක් බවයි.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නිමා වූ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අදහස් දැක් වූ ඔහු කියා සිටියේ එම සංචාරය තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට දේශීය වටපිටාව වඩාත් හොඳින් උපකාර කළ බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඔවුන් සිටින්නේ ඔස්ට්‍රෙලියානු බිමේ බවත් මෙහි පවතින වාතාවරණය සිය කණ්ඩායමට සහ ක්‍රීඩකයින්ට වඩාත් හිතකර බවක් ඔහු කියා සිටියා.

හෙට ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම මුණගැසෙන්නේ බටහිර ඔස්ට්‍රෙලියාවේ පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී යි.

මෙම ක්‍රීඩා පිටියේ තනතීරුව සැලකෙන්නේ වේගපන්දු යවන්නන්ට වඩාත් හිතකර තනතීරුවකි ලෙසටයි.

මේ දක්වා පන්දුවාර විස්ස තරග තුනක් පමණක් පවත්වා ඇති පර්ත් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඔස්ට්‍රෙලියානු කණ්ඩායමක් මුණ ගැසෙන්නේ පළමු වතාවටයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment