රට පවතින අර්බුදයෙන් ගොඩගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පූර්ණ සහාය පළ කරන බවත් ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තමන් සුදානම් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දැක්වීම අලියාගේ පිටේ නැගීමක් නොවන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් වන බවත් ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩල සමාජිකයන් තමා විදේශගතව සිටින අතරතුර රහසිගත ජන්දයක් පවත්වා ඇති බවත් පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක පළවු වාර්තා පදනම්කර ගනිමිනුයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග අදාල නිවේදනය නිකුත් කර ඇත්තේ.
තමන් විදේශගතවීමට සැළසුම් කර තිබුණේ 22 වන ව්‍යවස්ථා සංශෝධන විවාදයට සහ ඡන්ද විමසීමට දින තීරණය කිරීමට පෙර බවයි ඔහු කියා සිටියේ.
මේ නිසා තමන් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටි බවට ඇතැමුන් නඟන චෝදනා පදනම් විරහිත බවයි එම නිවේදනයෙන් දැක්වෙන්නේ.
පසුගිය 20 වනදා පැවති මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇඳ ඔහු ගෙන යන වැඩපිළිවෙලට සහය පළකල යුතු බවට ඊට සහභාගි වූ පිරිසගේ මතය වී ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග නිකුත් කළ නිවේදනයේ සඳහන්.
රට පසුකරමින් පවතින තීරණාත්මක කාලය තුළ ජනාධිපතිවරයාට සහාය පළකිරීමට තීරණය කිරීම පොහොට්ටුව අතහැර යාමක් නොවන බව පෙන්වා දෙන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ එය පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සදහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොදම තීරණය ලෙසයි.
රට වෙනුවෙන් හෘදය සාක්ෂියට එකඟව හැමවිටම නිවැරදි දේශපාලන තීන්දු ගත් තමා කිසි විටෙකත් තමන් පිළිබද විශ්වාසය තැබු ගම්පහ ජනතාව පාවාදීමට සුදානම් නොමැති බවයි අවධාරණය කළේ.