හෘදයාබාධයක් සැදී ත්‍රිරෝද රථයෙන් ඉවතට විසිවූ රියදුරු මරුට

October 25, 2022 - 10:13 AM

හෘදයාබාධයක් සැදී ත්‍රිරෝද රථයෙන් ඉවතට විසිවූ රියදුරු මරුට | දේශීය පුවත්

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකින් ඉවතට විසිවී මාර්ගයට ඇදවැටීමෙන් එම රථයේ රියදුරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නිකපොත ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

ඔහු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ඔහුගේ ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇත.

අනතුර සිදුව ඇත්තේ බෙරගල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිබිලහේන ප්‍රදේශයේදීය.

එහිදී තම සැමියා පපුව රිදෙන බව එක්වරම තමන්ට ප්‍රකාශ කළ බව මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ ප්‍රකාශ කර ඇත.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේ මියගොස් ඇති පුද්ගලයා එක්වරම ත්‍රිරෝද රථයෙන් ඉවතට ඇදවැටුණු බවය.

පසුව රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථය ගසක සහ විදුලි රැහැන් ආධාරක කම්බියක ගැටී නතරවී තිබේ.

ත්‍රිරෝද රථයෙන් ඉවතට විසිවූ එහි රියදුරු පසුව වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ තැන්පත් කර ඇති අතර අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

කොස්ලන්ද පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment