මැල්සිරිපුර මිය ගිය ඉංජිනේරුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද

October 25, 2022 - 2:46 PM

මැල්සිරිපුර මිය ගිය ඉංජිනේරුවාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද | දේශීය පුවත්

මැල්සිරිපුර ප්‍රදේශයේ නිවසකදී ඝාතනය කර වලදමා තිබූ අමෙරිකාවේ සේවය කළ විශ්‍රාමික නාවික විදුලි ඉංජිනේරුවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) පැවැත්වීමට නියමිත යි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් ලැබී ඇති අතර, අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඇමරිකාවේ නාවික විදුලි ඉංජිනේරුවෙකු ලෙස සේවය කර විශ්‍රාම ලබා මෙරටට පැමිණ සිටි 69 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර වළ දමා තිබිය දී සොයා ගනු ලැබුවේ ඔහු අතුරුදන් වී ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ පරීක්ෂණවල දී යි.

මිය ගිය පුද්ගලයා ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු වන අතර, ඔහු ඇමරිකාවේ කළ රැකියාවෙන් විශ්‍රාම ගෙන පසුගිය 2019 වසරේ මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු පසු ව මැල්සිරිපුර - රෙස්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මහගෙදරට පැමිණ එහි කාලය ගතකර ඇති අතර, ඔහු පදිංචි නිවසට අයත් වත්තේ සහ නිවසේ වැඩ කටයුතුවල සහායට වැල්ලව ප්‍රදේශයේ පුද්ගලයෙකු ද එම නිවසේ නවත්වාගෙන සිට තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මෙරට වෙසෙන තම පවුලේ ඥාතීන් සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, පසුගිය පළමු වැනි දා සිට ඔහුගෙන් කිසිදු තොරතුරක් නො ලැබීම හේතුවෙන් මාළඹේ ප්‍රදේශයේ පදිංදි ඔහුගේ ඥාති පුත්‍රයෙකු, ඒ සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලිසියට පැමිණිලි කර තිබුණා.

මේ සම්බන්ධයෙන් ඔහු ජිවත් වූ මැල්සිරිපුර නිවසට ගොස් සොයා බැලීමේ දී නිවසේ සේවය කළ පුද්ගලයා පවසා ඇත්තේ, නිවසේ හිමිකරු අනුරාධපුර සංචාරයක් සඳහා යන බව පවසා පසුගිය පළමු වැනි දා නිවසින් පිට ව ගිය බව යි.

එම ප්‍රකාශය පිළිබඳ සැක සිතූ පොලිස් නිලධාරීන් දින තුනකට පසු එනම් පෙරේ දා නැවත ඔහුගෙන් ප්‍රශ්න කිරිම සඳහා එම නිවසට පෙරේදා ගිය අවස්ථාවේ දී එම සේවකයා නිවසේ කාමරයක් තුළ බාල්කයක එල්ලී ගෙල වැල ලාගෙන මිය ගොස් සිටින අයුරු දැක තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීමට ආසන්න දිනක දී ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතයට සම්බන්ධ බවට සැක කරන පිරිසක් එම නිවසට පැමිණ ඇති බවත් එම නිවසේ දී යම් බහින්බස් වීමක් සිදු ව ඇති බවත් ප්‍රදේශවාසීන් විසින් පොලිසියට සඳහන් කර ඇති බව ද අප වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානි කර ගත් බවට සැක කරන මෙහෙකාර පුද්ගලයා සිය දිවි නසා ගත්තා ද එසේත් නැති නම් එය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා.

මේ පිළිබඳ කුරුණෑගල කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහගේ සෘජු මෙහෙයවීමෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු ආරම්භ කළ අතර ඊට පොලිස් නිල සුනඛයෙකුගේ සහයාද ලබාගෙන තිබුණා.

එම පොලිස් සුනඛයාගේ ඉව අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසියට විශ්‍රාමික විදුලි ඉංජිනේරුවරයා ඝාතනය කර ඔහුගේ වත්තේ වළ දමා තිබියදී සොයා ගැනීමට ද හැකි වුණා.

මිය ගිය විදුලි ඉංජිනේරුවරයාගේ බැංකු ගිණුමක තිබූ ලක්ෂ 22ක පමණ මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන්ද පොලිසියට සැක මතුව තිබෙන අතර ඒ පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක යි.

කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ ස්ථානීය පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද සිදු කිරීමට නියමිත අතර, මෘත ශරීරය හමු වූ ස්ථානයට දැඩි පොලිස් රැකවල් යොදා තිබෙනවා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment