පාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන්ගේ ලැයිස්තුවක් කිසිවෙකු සතුව නෑ - උදය ගම්මන්පිල

October 25, 2022 - 3:13 PM

පාර්ලිමේන්තුවේ ඉන්න ද්විත්ව පුරවැසියන්ගේ ලැයිස්තුවක් කිසිවෙකු සතුව නෑ - උදය ගම්මන්පිල | දේශීය පුවත්

පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසියන් 10 දෙනෙකු සිටින බවට පැවසෙන ප්‍රකාශය පිළිබඳව අද (25) පැවති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා අදහස් පළ කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ එලෙස ලැයිස්තුවක් කිසිවෙකු සතුව නොමැති බවය.

"මැති සබේ ද්විත්ව පුරවැසියන් දසදෙනෙකු සිටින බවත් ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවත් මෑතක දී මන්ත්‍රිවරුන් ගණනාවක් ප්‍රකාශ කර තිබුණා. ඒ අයගෙන් ඔය මන්ත්‍රිවරු දසදෙනා කවුද කියලා අහන්නකෝ. එහෙම කියන්න ලැයිස්තුවක් කා ගාවවත් නෑ. ඕක හිතළුවක් විතරයි. හැබැයි ඔය හිතළුවට පසුබිම් කතාවක් තිබෙනවා."
 
"2015 දී ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රිවරුවීම තහනම් කළ අවස්ථාවේ ලංකාවේ ප්‍රකෝටිපත් ව්‍යාපාරිකයෙක් මගෙන් ඉල්ලීමක් කලා, 'දෙමළ සංධානයේ මන්ත්‍රිවරු දසදෙනෙක් නෝර්වේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියන්.  ශ්‍රීලනිප ඇමතිවරයෙකු ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක්. මම අවශ්‍ය මුදල වියදම් කරන්නම්. මේ අය ගැන තොරතුරු හෙළිකරලා මැති සබයෙන් ඉවත් කරමු' කියලා."

"මම වෙබ්අඩවිවල තොරතුරු හෙව්වා. ඒ රටවලට ලිව්වා. නමුත් කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ නෑ. තුන්වන පාර්ශ්වයකට ලබාදෙන්නේ නෑ.  කෙනෙකු වෙනත් රටක පුරවැසිකම ලබාගත්තාම ලංකාවේ පුරවැසිකම අහෝසි වෙනවා. නමුත් වෙනත් රටක පුරවැසියෙකු වුණු බව ලංකා ණ්ඩුවට හෙළිනොකර සිටියොත් ඒ බව දැනගන්න කිසිම ක්‍රමයක් ආණ්ඩුවටවත් අපටවත් නෑ. යම් මන්ත්‍රීවරයෙක් ස්වෙච්ඡාවෙන්ම ප්‍රකාශ කළොත් මිස ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීම සඳහා අපට කිසිම ක්‍රමවේදයක් නැහැ." 

"මැති සබේ ද්විත්ව පුරවැසියන් 10ට වඩා ඇති. නමුත් දැනගන්න කිසිම ක්‍රමයක් නෑ. වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සිව්දෙනෙකු හැරෙන්න අනිත් සියලුම දෙනා පාර්ලිමේන්තු ආවේ 20 සංශෝධන සම්මතවීමට පෙර.  ඒ නිසා ඔය කියන ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු ඇවිත් තිබෙන්නේ ද්විත්ව පුරවැසිකම හංගාගෙන වංචනිකව."

"ඒ නිසා ද්විත්ව පුරවැසියන් අල්ලා ගැනීමට වෙනත් උපක්‍රමයක් සොයන්න ඕනෑ. ද්විත්ව පුරවැසියෙකු ඒ බව සඟවා පාර්ලිමේන්තු ආවොත් දේපල රාජසන්තක කිරීම වැනි දැඩි දඬුවම් පැනවිය යුතුයි.  ඒ වගේම සෑම මන්ත්‍රිවරයෙකුම තමන් ද්විත්ව පුරවැසියෙකු නොවන බවට දිවුරුම් ප්‍රකාශයක් මන්ත්‍රි ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවට භාරදිය යුතුයි කියා නීතියක් පැනවිය යුතුයි."

"එහෙම නැතිව ඉන්න අය අස් වෙයල්ලා කිව්වහම කවුරුහරි ඇස් වෙයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා."

"ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වීමේ අයිතිය නැත්තේ ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ පමණක් බවට රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පවසනවා අපි මාධ්‍ය හරහා දැක්කා.  මේක ජනතාව නොමග යවන බොරුවක්. මේ ප්‍රකාශය හරහා අපි 21 සංශෝධනය ගෙනාවේ පෞද්ගලික පළිගැනීමකට යන මතය සමාජ ගතවීමේ අවදානමක් තිබෙනවා."

"ඔස්ට්‍රේලියාවේ සහ ලංකාවේ පමණක් නොවේ තවත් රටවල් ගණනාවක ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ."

WhatsApp
Telegram
Make a Comment
Make a Comment