බදු ගෙවන්න බෑ , අපි රට දාලා යනවා - GMOA කියයි

October 26, 2022 - 10:28 AM

බදු ගෙවන්න බෑ , අපි රට දාලා යනවා - GMOA කියයි | දේශීය පුවත්

රජය විසින් ගෙන ඇති නව බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළින් වෛද්‍ය වෘත්තිකයන් රටින් සංක්‍රමණය වීම ඉහළ ගොස් ඇති අතර එමඟින් සෞඛ්‍ය ඇතුළු අනෙකුත් අංශ ප්‍රපාතයකට ඇද වැටීම නොවැළැක්විය හැකි හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.

මාධ්‍යවේදීන් අමතමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ මෙම ඉදිරිපත් කිරීම්වල අඩංගු බදු ප්‍රතිපත්තියට සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ නායකයින්ට විශාල වගකීමක් ඇති බවයි.

“ බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපත්ති සහ කොන්දේසිවලට අනුව බව පැහැදිලියි. සැඟවීමට දෙයක් නැහැ. එසේ නොවුණහොත් රජයක් මෙවැනි බඩ කපා ගැනීමක් කරයිද? රජයක් ලෙස ඔවුන් දන්නවා කොහොමද එවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විරෝධතා සංවිධානය කරනවා කියලා” යැයි වෛද්‍ය අලුත්ගේ මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවල බලපෑම් හේතුවෙන් රජයට මෙවැනි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බව එය විග්‍රහ කළ බොහෝ දෙනාගේ මතය වී ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

‘මේ බදු ප්‍රතිපත්ති නිසා අද රට ගමන් කරමින් සිටින්නේ වෘත්තීයවේදීන් පිළිබඳ දැනුමක් නැති ගල් යුගයකටයි. විවිධ ක්ෂේත්‍රවල සිටින වෛද්‍යවරු, ගණකාධිකාරීවරු, ඉංජිනේරුවරු විශාල පිරිසක් රට හැර යනවා. විශේෂයෙන්ම උතුරු, නැඟෙනහිර සහ දකුණු පළාත්වල පර්යන්ත රෝහල්වල මෙම තත්ත්වය දරුණු ලෙස මතුවෙමින් තිබෙනවා. බොහෝ විශේෂඥ වෛද්‍යවරු රට හැර යමින් ඉන්නවා. මේ නිසා පර්යන්ත රෝහල් බොහොමයක් වැසී යාමට ආසන්නයි. රට හැරයාමට ගත් තීරණය එම වෘත්තිකයන්ගේ පවුල් වෙනුවෙන් හොඳම තීරණය බවට පත්ව තිබෙනවා’ යැයි ඒ මහතා කීය.

එම නිසා මෙවැනි තත්ත්වයන් මැඩලීමට කඩිනම් පියවර ගන්නා ලෙස ලිඛිත ඉල්ලීමක් මගින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට එම සංගමය තීරණය කර ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment