පාකිස්තානයේ මුල්තාන් නගරයේ නිෂ්තාර් රෝහලේ මෘත ශරීරාගාරයේ වහලයේ තිබී මළ සිරුරු 200ක් පමණ සොයා ගෙන ඇති අතර, රෝහලේ වහලය මත ඉදිකර ඇති තාවකාලික කාමරයක මෙම මළ සිරුරු දිරාපත් වෙමින් තිබී ඇත.
කෙසේ වෙතත් මළ සිරුරු සංඛ්‍යාව පිළිබඳව රජයේ කිසිදු නිලධාරියකු තවමත් තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදුකර නැහැ.
මෙම මළසිරුරු පිළිබඳව මුළින්ම හෙළිකර ඇත්තේ පන්ජාබ් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදේශක තරික් සමාන් ගුජ්ජර් විසින්.
රෝහලේ මෘත ශරීරාගාරයේ වහලයේ ඇති කුණු වූ සිරුරු පිළිබඳව තමාට යම් පුද්ගලයකු ඔත්තුවක් ලබාදුන් බව ඔහු පවසා ඇති අතර, “මම නිෂ්තාර් රෝහලේ සංචාරයක යෙදී සිටියදී මිනිසෙක් මා වෙත පැමිණ ඔබට හොඳ ක්‍රියාවක් කිරීමට අවශ්‍ය නම් මෘත ශරීරාගාරයට ගොස් එහි වහලය පරීක්ෂා කර බලන්න” යැයි පැවසූ බව ගුජ්ජර් මාධ්‍ය වෙත පවසා තිබේ.
දිරාපත් වූ නිරුවත් පිරිමි සහ ගැහැනු සිරුරු එහි තිබී ඇති බවත්, මෙහි සිදුවන්නේ කුමක්ද යන්න පැහැදිලි කරන ලෙස ඔහු රෝහලේ වෛද්‍යවරුන්ගෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ මෙම සිරුරු වෛද්‍ය සිසුන් අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කර ඇති බවයි.
එහෙත් එය පිළිගත හැකි පැහැදිලි කිරීමක් නොවන බැවින් මේ සම්බන්ධයෙන් රජය විසින් වැඩිදුර විමර්ශනයක් පවත්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.