මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි යන අය කමල් හසන් යන අයගෙන් ලබා ගත් රන් කිලෝග්‍රෑම් 1 විකිණීමට සෘජුව දායකවූ බව කියන පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
රුපියල් කෝටියක් පමණ වටිනා මෙම රන් කිලෝග්‍රෑම් 1 විකිණීමට දායක වූ බව කියන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා යන අයයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ. ඔහු ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. එම රන් කිලෝග්‍රෑම් 1 ලබා ගත් බව කියන ජා ඇල ස්වර්ණාභරණ වෙලෙද සලක හිමිකරුවෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරුණා.
ඒ රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඔහු සතුව තිබු රන් පවුම් 40ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. ඔහු විසින් විකිණූ බව කියන රන් පවුම් 20කට අදාළ රුපියල් ලක්ෂ 30ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි අධිකරණය හමුවේ හෙළිවුණේ.