2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000ක් රැගත් පළමු නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණ තිබේ. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දක් වන අතර එම පොහොර ගොඩබෑමේ කටයුතු අද දින (28) ආරම්භ විය.
එම කටයුතු නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඇතුළු අද දින (28) පෙරවරුවේ සහභාගි වූහ.
ලෝක බැංකුව විසින් මෙවර මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 105ක මුදලක් ණය වශයෙන් ලබා දීමට පියවර ගත්තේය. මෙම ණය මුදල යටතේ අපේ මෙවර මහ කන්නයේ දී වී හා බඩඉරිඟු වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර ප්‍රමාණය ලබා ගැනීමට කටයුතු යොදා තිබේ.
මෙම පළමු යුරියා පොහොර තොගය මඩකලපුව හා අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වී වගාව සඳහා පළමු, දෙවන හා තෙවන පොහොර යෙදීම සඳහා සම්පූර්ණ අවශ්‍යතාවයම එක්වර ලබා ගැනිමට හැකි වන පරිදි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට කටයුතු යොදා තිබේ.
මේ අතර මහ කන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කැඳවන ලද දෙවන ටෙන්ඩරය අනුව මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් දෙවන නෞකාව නොවැම්බර් මස අවසන් සතිය තුළ මෙරටට ලඟා වීමට නියමිතය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා
පැවසුවේ නියමිත වේලාවට ගොවීන්ට පොහොර ලබාදීමට පියවර ගන්නා බව සහ පොහොර මිටියක් රුපියල් 10,000කට ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි.