දුසිල්වත් භික්ෂුන්ට එරෙහිව කටයුතු කරන්න නව පනතක්

October 28, 2022 - 4:08 PM

දුසිල්වත් භික්ෂුන්ට එරෙහිව කටයුතු කරන්න නව පනතක් | දේශීය පුවත්

භික්ෂුන් වහන්සේලා සම්බන්ධ චෝදනාවලදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් පොලිසිය හරහා අදාළ භික්ෂූ නිකායේ නායක හිමිවරුන් දැනුවත් කිරීමටත් ඒ අනුව සාමාන්‍ය නීතියට අමතරව විනය ක්‍රියාමාර්ග ගැනීමට ද ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා කරන බව ත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගිය දා ප්‍රකාශ කර තිබේ. 

ඉදිරියේදී මේ සම්බන්ධව කටයුතු කිරීමට නායක හිමිවරුන්ගේ මග පෙන්වීමෙන් වෙනම ව්‍යුහයක් ස්ථාපනය කිරීමට බලතල සහිත නව පනතක් හදුන්වා දීමටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් නිසා ශාසනයට සිදුවන හානිය පිළිබඳවත් ඒ අනුව ඒවා නැවැත්වීමට අමාත්‍යංශය කඩිනමින් මැදහත්වීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී විශේෂ අවධානයට ලක් වී ඇත.

මුලතිව් කුරුන්දි විහාරය ආශ්‍රිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නොවන ඉඩම් නිදහස් කර ගැනීම පිළිබදව ද එහිදී සාකච්ඡා වී තිබේ.

ජනතාව කෘෂිකර්මාන්තය ඇතුළු කටයුතු වෙනුවෙන් භුක්ති විඳි කැනීම් සඳහා මැනුම් අවසන් කර ඇති ඉඩම් හැර ඉතිරි කොටස අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් ජනතාවට ලබා දෙන ලෙස අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

2016 වසරේ පැවති කලායතන විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සදහා අවශ්‍ය රු. ලක්ෂ 32ක ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් විභාගය මේ වන තෙක් පවත්වා නොතිබීම සම්බන්ධව ද එහිදී සාකච්ඡා වී තිබේ.

ප්‍රතිපාදන නොමැතිකම නිසා විභාගය වසර 6ක් කල් යාම පිළිබදව සිය අප්‍රසාදය පළ කර ඇති අමාත්‍යවරයා ඒ සඳහා වහා ම මැදිහත්ව විභාගය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.

බෞද්ධ පූජනීය ස්ථානවලට සූර්ය විදුලිබල පද්ධති ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

වත්කම් ඇති බෞද්ධ පූජනීය ස්ථානවලින් ආධාර උපකාර ඒ සඳහා ලබා ගැනීමට මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමට ද අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

භික්ෂුන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලවල ද විනය පිරිහීම සම්බන්ධව මෙහිදී අවධානය යොමු වී තිබේ.

සාමාන්‍යයෙන් බෞද්ධ විශ්වවිදළ්‍යාලවලට ඇතුළත් වන භික්ෂූන්ගෙන් 45%ක් අවසන් වසරේදී උපැවිදි වීමේ තත්ත්වයක් ඇති බව එහිදී සාකච්ඡා වී ඇත. ඒ අනුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව කමිටුව අවධාරනය කර ඇත.

ඒ අනුව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග ඉදිරියේදී සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

අඩු වයසින් කුල දරුවන් සසුන්ගත කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා වී ඇත.

බුදු දහම රැක ගැනීම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් බැවින් මේ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට උපදේශන කාරක සභා අනුකමිටුවක් පත් කිරීමට ද මීළග රැස්වීමේදී පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment