වෙළෙදපොලේ අලෙවිය සඳහා ඇති තිරිඟු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා එම සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව වාර්තාවෙයි.
වෙළෙදපොලේ අලෙවියට ඇති ආනයනික තිරිගු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට ජනතාව සහ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනවල නිරතවන්නන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව තිරිඟු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා වැටලීම් ආරම්භකළ අතර අලෙවිය සඳහා පවතින තිරිඟු පිටි සාම්පල ලබාගැනීමද සිදුකර තිබේ.
තිරිඟු පිටිවල ප්‍රමිතිය පිළිබඳව පරික්ෂා කිරීමේ බලතල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ආහාර ආනයන අපනයන පාලක ජනරාල්වරයා සතු නොවන අතර ආහාර පනතට අනුව එම බලතල ලැබි ඇත්තේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙතය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාගෙන් සිදුකළ විමසිමකදි ඔහු සඳහන් කළේ වෙළෙඳපොලේ අලෙවිය සඳහා පවතින තිරිඟු පිටිවල ප්‍රමිතිය පිළිබඳව ගැටලු අඛණ්ඩව වාර්තා වන බවය.
ඒ අනුව තිරිඟු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සඳහා අදාළ සාම්පල ලබාගෙන ඒවා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති බවත් එම වාර්තා ලැබීමෙන් අනතුරුව අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
අලෙවිය සදහා පවතින තිරිඟු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූ පවතින්නේ නම් 011-2635675 දුරකථන අංකය වෙත අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ඔහු පැවසීය.
මේ අතර ආනයනික තිරිඟු පිටි ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් තිරිඟු පිටි මිල අඩුවුවද බේකරි නිෂ්පාදන මිල ගණන් අඩුකළ නොහැකි බව බේකරිහිමියන් පසුගියදා ප්‍රකාශ කළේය.
එමෙන්ම වෙළෙඳපොලේ ඇති අඩු බර පාන් සම්බන්ධයෙන් ද පසුගියදා දැඩි කතාබහක් මතු වූ අතර ඊට අදාළව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලිම් ද ආරම්භ කළේය.
ඒ අනුව මේ වනවිට වැටලීම් සියයකට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බවත් තිරිඟු පිටි ප්‍රමිතිය සම්බන්ධයෙන් වන රසායනාගාර පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව අඩු බර පාන් අලෙවි කරන සහ නිෂ්පාදනය කරන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.