මෙවර ආසියානු කුසලානය පහසුවෙන් ජයගනු ඇතැයි විචාරකයින් කල්තියා අනාවැකි කියූ ඉන්දීය කණ්ඩායම ඊයේ පාකිස්තානය සමග තරගය පරාජය වීම නිසා මේ වනවිට තරගාවලියේ අවදානම් කලාපයට වැටී තිබෙනවා.
එවන් වටපිටාවක් තුලයි ඔවුන් හෙට ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසෙන්නේ.
යම් හෙයකින් හෙට තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය වුවහොත් කල්වේලා ඇතිවම යලි ගම්බිම් බලා යන්නට ඔවුන්ට සිදුවනු ඇති.
මේ බව හොඳින්ම දන්නා රෝහිත් ෂර්මා ප්‍රමුක ඉන්දීය බලඇණිය හෙට ශ්‍රී ලංකාව සමග තරගයේදී සිය උපරිම ජවය යොදනු ඇති බවයි අපගේ හැඟීම.
පසුගිය කාලය පුරා අක්‍රියව පැවති විරාත් කෝලිගේ ලකුණු මැෂිම මෙවර ආසියානු කුසලානයේදී යළි පණගැන්වී තිබීමත් අපේ පන්දු යවන්නන් අවදානයට ගතයුතු කරුණක්.
වමත් වේග පන්දු යවන ඩිලාන් මදුශංකට කෝලිව මෙල්ල කරන්නට අවස්තාව ලබාදී චාමික කරුණාරත්නට ආරම්භක පන්දු කරණයේ වගකීම ලබාදී අත්හදා බැලීමක් කරන්නට ශ්‍රී ලංකා පුහුණු කාර්‍ය මණ්ඩලයට සිතක් පහල වුවහොත් එය අනාගතයට සුබවාදී වනු ඇති.
ශ්‍රී ලංකා අභියෝගය ජයගෙන තරගාවලිය තුල රැඳීම සඳහා ඉන්දීය කණ්ඩායම හෙට තරගයට සිය හොඳම තුරුම්පු අදින බවට නම් කිසිදු සැකයක් නැහැ.
මේ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම කල්වේලා ඇතිවම ඊට සුදානම් විය යුතුයි.
මෙවර තලගාවලියේ පළමු තරග තුනේදීම අසාර්ථක වූ චරිත් අසලංක හෙට තරගයේදී සුපුරුදු රිද්මයට පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට අනිවාර්‍ය වනවා.
හෙට තරගය ඔහුගේම තරගයක් බවට පෙරලා ගන්නට අසලංක තදින්ම සිතට ගත යුතුයි.
තරගාවලියේ පළමු තරග පරාජයෙන් පසු අලුගසා නැගී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාව පරාජය කළහොත් මෙවර ආසියානු කුසලානයේ පහස විදින්නට ලංවූ පළමු කණ්ඩායම බවට පත්වනු ඇති.
උපුටා ගැනීම - ක්‍රිඩා මාධ්‍යවේදී සාරංග පතිරණගේ ෆේස්බුක් පිටුවෙන්