ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහන ලබාදෙන ලෙස අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් ඉල්ලීමක්

October 29, 2022 - 11:36 AM

ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහන ලබාදෙන ලෙස අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් ඉල්ලීමක් | දේශීය පුවත්

තම ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහන ලබාදෙන ලෙස අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් පූර්ව කොමිෂන් සභා සහ කමිටුවල තීරණ ඇගයීම හා ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සඳහන් කර තිබේ.

එම කොමිසමේ සාමාජිකයින් පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවූ අවස්ථාවේදී ඔවුන් මේ බව ප්‍රකාශ කළ බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

ගැටුම් පැවති කාලවකවානුවේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් කාත්තන්කුඩි, ඔට්ටමාවඩි, කුරුක්කල්මඩම්, එරාවුර්, වාලච්චේන සහ කලවංචිකුඩි ප්‍රදේශවල මුස්ලිම් ගම්මාන ඔවුන් වෙත ලබාගැනීමේ අරමුණින් ඒවායේ ජීවත් වූ පිරිමි පුද්ගලයින් ඝාතනයට හෝ අතුරුදන් කළ බව අතුරුදන්වූවන්ගේ ඥාතීන් එහිදී පෙන්වා දී තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් 173 දෙනෙකු ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා සාක්ෂි ලබාදී තිබුණි.

ඒ ආකාරයෙන් සාක්ෂි ලබාදුන් සියලුදෙනා මුස්ලිම් ජාතිකයින් වන අතර අවම වශයෙන් එම සෑම පවුලකම එක් සාමාජිකයෙකු හෝ අතුරුදන් වී ඇති බවට ඔවුන් සමග සිදුකළ සාකච්ඡාවන්වලදී කොමිසමට අනාවරණය වී ඇති බව වාර්තා විය.

මුස්ලිම් පවුල්වල පිරිමි පුද්ගලයින් ඝාතනයට ලක්වීම සහ අතුරුදන්වීම හමුවේ සිය පවුල්වල ජීවනෝපාය මාර්ගයන් බිඳවැටීමට ලක්වූ  බව පෙන්වාදී ඇති අතුරුදන්වූවන්ගේ ඥාතීන් සිය දෛනික ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්දි මුදල් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අතුරුදන් වූ පුද්ගලයින් වෙනුවෙන් රජය විසින් මීට පෙර වන්දි මුදල් ලබාදුන්න ද ඒවා ප්‍රමාණවත් නොවන බව ඔවුන් එහිදී පෙන්වා දී ඇත.

අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් ලබාගන්නා සාක්ෂි ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට ඇතුළත් කරන අතර මීට පෙර ද දිස්ත්‍රික්ක කිහිපයක අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ගෙන් සාක්ෂි ලබාගෙන තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment